Spread the love

මෙවර මහ කන්නයේ දී හම්බන්තොට, අනුරාධපුර හා මොණරාගල දිස්ත්‍රික්ක තුනෙහි අක්කර 40,000ක බඩ ඉරිඟු වගා කිරීම සඳහා අවශ්‍ය දෙමුහුන් බඩඉරිඟු බීජ නොමිලයේ ලබා දීම අද දින (20) සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අගුණකොලපැලැස්ස ගොවිජන සේවා මධ්‍යස්ථානයේ දී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගිත්වයෙන් බඩඉරිඟු බීජ බෙදා දීම අද සිදු කෙරිණ.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවීන් 10,000කට හා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන් 14,000කට ඉදිරි දින කිහිපය තුළ බඩඉරිඟු බීජ ලබා දීම සිදු කරන බව SAPP ව්‍යාපෘතිය පවසයි.
පසුගිය වර්ෂයේ සත්වාහාර සඳහා අවශ්‍ය බඩඉරිඟු නොමැතිකම නිසා මස්, බිත්තර හා කිරි නිෂ්පාදනය අඩාල වූ අතරම එම නිෂ්පාදනවල මිල ගණන් ඉහළ ගියේය. මේ නිසා ඉන්දියාවේ සිට බිත්තර ආනයනය කිරීමට ද රජයට සිදුවිය.සත්ව ආහාර හිඟය නිසා සත්ව නිෂ්පාදන ගොවිපොළ රැසක් වැසී ගියේය.

මෙම තත්ත්වය සැළකිල්ලට ගනිමින් මෙරට සත්ව නිෂ්පාදන ඉහළ නැංවීම සඳහා අවශ්‍ය සත්ව ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා බඩඉරිඟු වගාව පුළුල් කිරීමට තීරණය කරනු ලැබීය.
ඒ අනුව IFAD හෙවත් කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන අන්තර්ජාතික අරමුදල විසින් ලබා දෙන මුල්‍ය ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන 360ක වියදමින් තායිලන්තයෙන් ආනයනය කරන ලද උසස් තත්ත්වයේ දෙමුහුම් බඩඉරිඟු විහේෂයක් වන පැසිපික් ප්‍රභේදය ගොවීන්ට නොමිලයේ ලබා දීමට කටයුතු යොදා ඇත.

එමෙන්ම බඩඉරිඟු වගාව සඳහා අවශ්‍ය යුරියා පොහොර මෙට්‍රික් ටොන් 800ක් මේ වනවිට ඇණවුම් කර ඇති අතර එම යුරියා පොහොර ද බඩඉරිඟු වගා කරන ගොවීන්ට නොමිලයේ ලබා දීමට සැළසුම් කර තිබේ.