Spread the love

සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ තමන්ගේ අපේක්ෂකයා නම් කර වසරකට වඩා වැඩි කලක් ගතවී තිබුනද මේ පවතින අර්බුදයෙන් රට ගොඩ ගන්නා වැඩසටහනක් ඉදිරිපත් කිරීමට අපොසත් වී ඇති බව සර්වජන බලය විධායක සභික, පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ ගාල්ලේ දී පැවති සර්වජන බලය ජන රැළිය අමතමිනි.

එහිදී පිවිතුරු හෙළ උරුමය නායකයා වැඩි දුරටත් මෙසේ අදහස් දැක්වීය.

ගාල්ලේ වැඩ්ඩන් ලිස්ට් එක

කොළඹ කතාවක් තියෙනවා වැඩ බැරි වුනත් ගම ගාල්ලේ කියලා. ඒකෙන් ඇත්තටම කියවෙන්නේ වැඩ්ඩු ඉන්නේ ගාල්ලේ කියන එකයි. වැඩ බැරි පුද්ගලයාත් ගම ගාල්ලේ කියලා ශේප් වෙනවා කියන එකයි. ගාලු දිසාව රටට වැඩ්ඩන් බිහි කරපු දිශාවක්.

පූජනීය හික්කඩුවේ සුමංගල නාහිමියන්, මිගෙට්ටුවත්තේ ගුණානන්ද නාහිමියන් වගේ පැවිදි පඬිරුවන්, ලකී විජේරත්න වැනි රණවිරුවන්, නිදහස් සටනට පණ පෙවූ හෙන්ද්‍රි පේදිරික් වැනි විරුවන්, ඩබ්ලිව් දහනායක, සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නංගර වැනි කෘතහස්ත දේශපාලනඥයන්, සිරිල් ද සොයිසා හෙන්රි අමරසූරිය වැනි දැවැන්ත දානපතියන්, සිරිල් පොන්නම් පෙරුම, ඩී ජේ විමලසුරේන්ද්‍ර, ඉදිරිවීර සරච්චන්ද්‍ර, නන්දදාස කෝදාගොඩ වැනි විද්වතුන්, එල් එච් මෙත්තානන්ද, ආර් අයි ටී අලස් වැනි විශිෂ්ට විදුහල්පති පියවරුන් රටට දායාද කල ගාල්ලට අපි ආවේ ගාල්ලේ ඉන්න වැඩ්ඩන් රටට වැඩක් කරන්න නම් එකතු විය යුත්තේ සර්වජන බලය සමඟයි කියන එක ගාල්ලේ වැඩ්ඩන්ට සිහිපත් කරන්නයි.