Spread the love

රටේ මූල්‍ය කළමනාකරණය නිසි ලෙස සිදුකිරීමට අපොහොසත් වුණු පාලකයන් රාජ්‍ය පොසොන් උත්සවයට නිසි අනූග්‍රහය දැක්වීමට අපොහොසත්ව සිටීම සම්බන්ධයෙන් තමා කනගාටුවට පත් වන බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන නායක හිමියන් පවසයි.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා එම හිමියන්ව ඊයේ (21) බැහැදුටු අවස්ථාවේදීය.

මෙවර රාජ්‍ය පොසොන් උත්සවය මිහින්තලය කේන්ද්‍රකරගනිමින් පැවැත්වීමට සැලසුම්කර ඇති අතර එහි සූදානම නිරීක්ෂණය කිරීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ.ගමගේ මහතා ද ඊයේ මිහින්තලය රජමහා විහාරය වෙත පැමිණියේය.

ඒ උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා විදෙස්ගත වී සිටීම හේතුවෙනි.

එහිදී ද පොසොන් උත්සවය සඳහා රජය ප්‍රමාණවත් ප්‍රතිපාදන වෙන් නොකිරීම පිළිබඳව මිහින්තලා රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන නායක හිමියන් සිය අප්‍රසාදය පළ කළේය.