Spread the love

මහනුවර ගැටඹේ දියකපනාතොට විහාරස්ථානයේ පිං කැටය කැඩීමට පැමිණි බව කියන පුද්ගලයෙකුට විහාරස්ථාන පරිශ්‍රයේ දී අමානුෂික ලෙස පහර දී ඝාතනය කිරිමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මහනුවර පොලිසිය පරීක්ෂණ පවත්වයි.

ඝාතනයට ලක්ව ඇත්තේ මැණික්හින්න ඉත්තමල්ලියගොඩ ප්‍රදේශයේ පදිංචි චමිල සූධීර රත්නායක (43) නමැති හිටපු යුද හමුදා සෙබළාගේ මළ සිරුර විහාරස්ථානයේ ගරාජයේ තිබී පොලිසිය සොයා ගෙන තිබේ.

මියගිය පුද්ගලයා විහාරස්ථානයට පැමිණි බවට සැක කරන යතුරු පැදියක් සහ පොලිස් යනුවෙන් සඳහන් ස්ටිකරයක් ඇල වූ හෙල්මටයක් ගරාජයේ තිබී පොලිසියට හමුවී ඇත.

විහාරස්ථාන පරිශ්‍රයට ඇතුළු වූ පුද්ගලයාට පුද්ගලයන් කිහිප දෙනෙකුම ඉතා දැඩි ලෙස පහර දී තිබෙන බවට මියගිය පුද්ගලයාගේ ශරීරයේ දක්නට ලැබෙන තැලීම් තුවාලවලින් තහවුරු වන බව පොලිසිය පැවසීය. මෙම පුද්ගලයා අලුයම 3.30ට පමණ විහාරස්ථාන භූමියට ඇතුළු වී තිබෙන බවට තොරතුරු අනාවරණය තිබේ.

අත් පා ලණුවලින් ගැටගසා අමානුෂික ලෙස පහර දී පැය ගණනාවක් යනතුරුම සිද්ධිය සම්බන්ධයෙන් විහාරස්ථානය මඟින් පොලිසිය දැනුම්වත් නොකරීම ගැටලු සහගත බව මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී මහනුවර උසස් පොලිස් නිලධාරියකු පැවසුවේය.

විහාරස්ථන පරිශ්‍රයේ පොලිස් මුර පොළක් ද ක්‍රියාත්මකය. එහි සේවයේ නියුක්තව සිටි ග්‍රාමාරක්ෂක නිලධාරියකු පොලිසියට පවසා ඇත්තේ තමන් ශබ්දයක් ඇසී බලන විට පුද්ගලයන් කිහිපදෙනකු තවත් අයෙකුට පහර දෙමින් සිටිනු දුටු බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් විහාරාධිපති හිමි ඇතුළු පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන්ම පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මහනුවර කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ මෙහෙය වීම මත පොලිස් අධිකාරී එන්.ඉලංගකෝන්, මහනුවර පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් යන මහත්වරු ඇතුළු පිරිසක් පරීක්ෂණ පවත්වති.