Spread the love

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් ‘එක්සත් ජනරජ පෙරමුණ’ නම් නවතම දේශපාලන පක්ෂයක් මැයි 22 වෙනිදා (ජනරජ දින) ජාතික තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ දී එළිදැක්වීමට නියමිත ය.

ජනතාවගේ සාමූහික ප්‍රයත්නයකින් රට ගොඩ ගෙන, ගොඩ නගන, කුසලතාව භාවිතා කරන ප්‍රායෝගික වැඩපිළිවෙළක් මත පදනම් ව රටට ආර්ථික, රාජ්‍ය තාන්ත්‍රික, ප්‍රජාතාන්ත්‍රික නිදහසත්, ජාතික සමගිය හා ඒකාග්‍රතාව ලබාදීමත්, අරමුණු කර ගෙන ‘ජනරජ පෙරමුණ’ බිහි වේ.

HOPE – M නම් වූ පංචවිධ වටිනාකම් (අවංක බව, විවෘත බව, ප්‍රායෝගිකත්වය, සහකම්පනය සහ කුසලතාවාදය) සහ ආර්ථික සමෘද්ධිය, තිරසාර සංවර්ධනය, ස්ථාවර ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය, සමාජ සාධාරණත්වය, සම මිතුරු විදේශ ප්‍රතිපත්තිය නම් වූ පංචවිධ ප්‍රතිපත්ති මත පදනම් ව එක්සත් ජනරජ පෙරමුණ කටයුතු කරයි.

සෞභාග්‍යමත් ජනරජයක, සාඩම්බර පුරවැසියන් ලෙස දිවි ගෙවීම සඳහා විවිධ දේශපාලන, පක්ෂ, පාට, පුද්ගලයන් වෙත බලය ලබා දීමෙන් ඵලක් නොමැත.

ශ්‍රී ලංකාව සැබෑ ‘ජනරජයක්’ බවට පත් කිරීමට ඉහත කී පංචවිධ වටිනාකම් සහ ප්‍රතිපත්ති මත පදනම් වූ ‘ජනරජ පෙරමුණ’ නම් වේදිකාව ඔබ වෙනුවෙනි.

එම පක්ෂයේ බලය දැනුමෙන්, කුසලතාවෙන්, පළපුරුද්දෙන් සන්නද්ධ ඔබ විසින් භාර ගත යුතු ව ඇත.

ඒ ගමනේ සක්‍රිය හවුල්කරුවකු වන ලෙස එක්සත් ජනරජ පෙරමුණ සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටියි.