Spread the love

හික්කඩුව පොලිස් වසමේ ප්‍රධාන පෙලේ පාසැල් අසල වෙළෙද සැල් පවත්වාගෙන යමින් බාල වයස්කරුවන්ට සිගරැට් විකුණන ලද වෙළෙද සැල් හිමියන් 08 දෙනෙකු හික්කඩුව පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන්ට ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් පොලිස් ඇපමත මුදාහැර තිබේ.

හික්කඩුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් සදගිරි මහතාගේ උපදෙස් හා මෙහෙයවීම මත වයස අවුරුදු 17 ක් වන උපාය දූතයෙකු යොදවා සිගරැට් මිළ දී ගැනීමට සලස්වා සැකකරුවන් අත් අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන්ගේ වෙළෙද සැල්වල තිබූ සිගරැට් තොගද නඩු භාණ්ඩ ලෙස පොලීසියේ බාරයට ගත් බව හික්කඩුව පොලීසිය කියයි.

ශ්‍රී ලංකාවේ නීතිය අනුව වයස අවුරුදු 21 ට අඩු බාලවයස්කාර දරුවන්ට සිගරැට් අලෙවිය නීතියෙන් තහනම් කර තිබෙන බවත් මෙම වෙළෙද සැල් හිමියන් පාසැල් අසල පවත්වාගෙන යන පෞද්ගලික උපකාරක පංති වලට පැමිණෙන දරුවන් ඉලක්කකර ගනිමින් සිගරැට් අලෙවි කරන බවත් හික්කඩුව පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය. දැනට ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුමට සමගාමීව පාසැල් දරුවන්, ආදි සිසුන්, දෙමාපියන් හා ගුරුවරුන් ඒකාබද්ධ කර එක් එක් පාසැල් ඉලක්ක කර ගනිමින් පිහිටුවා තිබෙන ‘පවුර සංසදය’ වල සහය ඇතිව මෙම මෙහෙයුම දියත් කරන ලද බවද එම ප්‍රකාශකයා වැඩි දුරටත් සදහන් කලේය.

හික්කඩුව පොලිස් වසම තුල පිහිටි හික්කඩුව ශ්‍රී සුමංගල ජාතික පාසැල, දේඩන්දූව ශ්‍රී රෝහණ විද්‍යාලය, හෙන්නාතොට මහ විද්‍යාලය, මහමායා බාලිකා විද්‍යාලය ආදී පාසැල් රැසක් වෙනුවෙන් මෙසේ ‘පවුර සංසද’ පිහිටුවා තිබෙන බවද හික්කඩුව පොලීසිය කියයි.