Spread the love


නිමල් රාජපක්ෂ-

..

සෞඛ්‍ය අමාත්‍යාංශයට පරිත්‍යාග ලබාදීමේදී පරිත්‍යාගශීලීන් ද සතුටු වන ආකාරයේ විශේෂ වැඩපිළිවෙලක් කඩිනමින් සකස් කල යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා අවධාරණය කරයි.
සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා මේ බව අවධාරණය කරන ලද්දේ පසුගියදා (05) මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ පැවති විශේෂ උත්සවයකට සහභාගි වෙමිනි.
මීගමුව දිස්ත්‍රික් මහ රෝහල් පරිශ්‍රයේ “මෙල්වා” සමූහ ව්‍යාපාරයේ රුපියල් මිලියන 200 කට අධික මූල්‍ය ධන පරිත්‍යාගයෙන් 2017 වර්ෂයේ ඉදිකිරීම් ආරම්භකර 2019 වර්ෂයේදී සුව සත්කාර සේවා සදහා එක්කරන ලද ඇදන් 100 අධික ධාරිතාවයකින් සමන්විත දෙමහල් අංග සම්පූර්ණ ළමා වාට්ටු සංකීර්ණ‍ය (සුරක්ෂා ළමා සෙවණ) ඉදිකර වසර පහක් පිරීම නිමිත්තෙන් මෙම විශේෂ සැමරුම් උත්සවය සංවිධානය කර තිබුණි.
ඉදිරි වසර පහක කාළය සදහා මෙම වාට්ටු සංකීර්ණයේ නඩත්තු කටයුතු, ආරක්ෂක කටයුතු, රෝගීන්ගේ ඇද ඇතිරිලි පිරිසිදු කිරීම, වාට්ටු පිරිසිදු කිරීම යන කටයුතු මෙල්වා සමූහ ව්‍යාපාරයේ මගින් සිදු කිරීම සදහා අවබෝධතා ගිවිසුම් ගත වීමද මෙහිදී සිදුවිය. සෞඛ්‍ය අමාත්‍යංශය වෙනුවෙන් ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සහ මෙල්වා සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ පී.පී. මුරුගනාන්දන් මහතා ගිවිසුමට අත්සන් තබන ලද අතර පසුගිය වසර පහක කාලයද මෙම කටයුතු සදහා දායකත්වය මෙල්වා සමූහ ව්‍යාපාරය දරා ඇත.
ළමා රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා මෙහිදී කියා සිටියේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දි විවිධ ගැටලු වලට මුහුණ දීමට තමන්හට සිදුවූ බවත්, පරිත්‍යාග ලබාදීමට පරිත්‍යාගශීලීන් විශාල ප්‍රමාණයක් රටතුළ කැමැත්තෙන් සිටින බවත් ඔවුන් හට බාධාවකින් තොරව එම කටයුතු සිදුකිරීමට නිසි ක්‍රමවේදයක් සකස්කරන ලෙසය.
මෙල්වා සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ පී.පී. මුරුගනාදන් මහතා මෙහිදී පවසා සිටියේ, ළමා රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රණාන්දු මහතාගේ විශේෂ කැපවීම හා උත්සහය මත මෙම දෙමහල් අංග සම්පූර්ණ ළමා වාට්ටු සංකීර්ණ‍ය (සුරක්ෂා ළමා සෙවණ) රෝහලට ලබා දීමට කටයුතු කල බවය.