Spread the love

නීති විරෝධී ලෙස බීඩි කොළ ආනයනය හේතුවෙන් රජයට අහිමි වන රුපියල් බිලියන හතරක පමණ මුදල රජයට අයකර ගැනීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ නීත්‍යානුකූලව ආනයනය කෙරෙන බීඩි කොළවලට වඩා වැඩි ප්‍රමාණයක් නීති විරෝධී මාර්ග ඔස්සේ රට තුළට පිවිසෙන බවට තොරතුරු ලැබී ඇති බවයි.

2023 වසර තුළ මෙරටට ආනයනය කර ඇති බීඩි කොළ ප්‍රමාණය කිලෝ 323,389ක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ සියලු බදු අය කළ පසු ඉන් ලබා ඇති ආදායම රුපියල් බිලියන 3ක් පමණ වන බවයි.

එහෙත් රට තුළ බීඩි කොළ කිලෝ ග්‍රෑම් ලක්ෂ 15ක පමණ ප්‍රමාණයක් සංසරණය වන බව අනුමාන කළ හැකි බවයි හෙතෙම පෙන්වා දෙන්නේ. බදු පහත හෙලීම මගින් නීති විරෝධී බීඩි කොළ ආනයනය අවම කර ගත හැකි බව පෙන්වා දෙන අමාත්‍යවරයා ඊට නිසි ක්‍රමවේදයක් සකස් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරයි.

ඒ අනුව බීඩි කොළ කිලෝග්‍රෑම් ලක්ෂ 10ක් අවම වශයෙන් නීත්‍යානුකූල මාර්ගය ඔස්සේ ආනයනය කළ හොත් රුපියල් බිලියන 7ක පමණ බදු මුදලක් රජයට අය කර ගත හැකි බව සියඹලාපිටිය මහතා වැඩි දුරටත් සඳහන් කරයි. බීඩි නිෂ්පාදකයන් සමග අද පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව පැවැසීය