Spread the love

නාගොඩ -සුමන

උප පොලිස් පරීක්ෂකවරයෙකු සතු ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් පුද්ගලයකු මිය යාම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ කණ්ඩායමක් පත්කර ඇතිබව පොලිස් මූලස්ථානය පවසයි.

සහකාර පොලිස් අධිකාරිවරයෙකුගෙ මූලිකත්වයෙන් එම කණ්ඩායම වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් පත්කර තිබේ.

එම කණ්ඩායම ඊයේ (18) රාත්‍රියේම නාරම්මල ප්‍රදේශයටගොස් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

පරීක්ෂණ වලින් අනතුරුව වගකිව යුතු ප්‍රාර්ශව වලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිත බව පොලිස් මූලස්ථානය පවසයි.

උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන් නාරම්මල දම්පැලැස්ස ප්‍රදේශයේදී ලොරි රථ රියදුරෙකු ඊයේ රාත්‍රියේ මියගියේය.

සිද්ධියෙන් අනතුරුව ප්‍රදේශවාසීන් නාරම්මල පොලිසිය ඉදිරිපිට රැස්ව විරෝධතාවක නිරත විය.

එය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්‍ය බලකාය ද කැදවීය.

නාරම්මල නගරයේදී සිවිල් ඇදුමින් සැරසී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු කුඩා ලොරි රථයක් නතර කරන ලෙසට අණ කර ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

අණ නොතකා ධාවනය කර ලොරි රථය පිටුපස පොලිස් නිලධාරීන් දෙදෙනා යතුරු පැදියකින් හමාගොස් දම්පැලැස්ස ප්‍රදේශයේදී එය නතර කර තිබේ.

පොලිස් නිලධාරීන් දෙදෙනා ලොරි රථය පරීක්ෂා කරන අවස්ථාවේදී උප පොලිස් පරීක්ෂකවරයා සතුව තිබූ ගිනි අවිය ක්‍රියාත්මක වී එහි රියදුරු මියගොස් ඇතිබව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

උප පොලිස් පරීක්ෂකවරයා අත්තඩංගුවට ගෙන තිබේ.

එලෙස වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ අලව්ව ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය පවසයි.