Spread the love

සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසියෙක් බවට ආගමන විගමන දෙපාර්තමේන්තුව අධිකරණය වෙත දන්වා තිබෙනවා.

අධිකරණය හමුවේ කරුණු දක්වමින් ආගමන විගමන නිලධාරීන් පෙන්වා දී ඇත්තේ 2014 වසරේ දී ඇයගේ ශ්‍රී ලංකා විසා බලපත්‍රය අවසන් වී ඇති බවයි.

ආගමන විගමන දෙපාර්තමේන්තු ලිපිලේඛන අනුව නයනා සමන්මලී හෙවත් ඩයනා නටාෂා කැකනදුර හේවා ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි අයෙක් බවට මේ වන විට අනාවරණය වී තිබෙනවා.

2014 වසරේ ජනවාරි මසදී ඇය ව්‍යාජ උප්පැන්න සහතිකයක් සහ ජාතික හැඳුනුම්පතක් භාවිතා කර ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයක් ලබාගෙන තිබෙනවා.

ඒ අනුව ඇය ද්විත්ව පුරවැසිභාවය උසුලන්නියක් නොව බ්‍රිතාන්‍ය පුරවැසිභාවය සහිත නීති විරෝධී ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයක් හිමිකාරීයෙක් බවයි ආගමන විගමන නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් හරහා අධිකරණයට පෙන්වා දී ඇත්තේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ අදාළ කරුණු අනාවරණය වීමෙන් අනතුරුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා තීරණය කළේ මේ නඩුව තවදුරටත් පවත්වාගෙන යාමටයි.

විමර්ශනවලදී අනාවරණය වූ කරුණු හැකි ඉක්මණින් විශ්ලේෂණය කර මෙම අධිකරණ කටයුතු අවසන් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට නියෝග කළේ.