Spread the love

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අඛණ්ඩ වැඩ වර්ජනයක් හෙට සිට ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

ඔවුන් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත්තේ මීට පෙර රජය විසින් සඳහන් කළ පරිදි රුපියල් තිස්පන්දහසක DAT දීමනාව ජනවාරි මාසයේ සිට ලබා නොදීමට තීරණය කර ඇතැයි ලද තොරතුරක් මතයි.

කෙසේ වෙතත් මෙම වැඩ වර්ජනයෙන් පිළිකා රෝහල්, වගුගඩු රෝහල්, හදිසි ප්‍රතිකාර සේවා, දැඩි සත්කාර ඒකක ආදියේ සේවාවන්ට බාධාවක් නොවන බවද සංගමය කියා සිටී.

මේ බව දන්වමින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය.

මාධ්‍ය නිවේදනයයි

ජනාධිපතිවරයා ඇතුලු කැබිනට් මණ්ඩලය විසින් ද අනුමත කර ඉහළ දැමූ වෛද්‍යවරුන්ගේ DAT දීමනාව ජනවාරී මාසය තුල ලබාදීම අවහිර කිරීමේ උත්සාහයට එරෙහිව හෙට දින සිට ක්‍රියාත්මක වෘත්තීය ක්‍රියාමාර්ග ප්‍රකාශයට පත් කිරීම.

වෛද්‍යවරුන්ට ආර්ථික යුක්තිය සහ සාධාරණය ඉටු කිරීම වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සිදුකරන ලද දීර්ඝ කාලීන සටනක ප්‍රතිඵලයක් ලෙස පසුගියදා වෛද්‍යවරුන්ගේ DAT දීමනාව රු. 35,000.00 කින් වැඩිවීමක් සිදුවිය.

වෛද්‍යවරුන් රට තුල රඳවා ගැනීමේ අවශ්‍යතාව සහ ප්‍රමුඛතාවය හඳුනාගනිමින් ජනාධිපතිවරයා විසින් මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවක් මත පදනම්ව මෙම දීමනාව ඉහළ නංවන ලදී. මෙය වෛද්‍යවරුන්ට ආර්ථික යුක්තිය ඉටු කිරීමේ එක් සාධනීය පියවරක් ලෙස අප සලකනු ලැබූ අතර, මෙරට වෛද්‍යවරුන්ට ඒ හරහා රට තුළ රැඳී සිටීමට යම් බලාපොරොත්තුවක් ද ලැබුණි.

කැබිනට් මණ්ඩලයේදී අනුමත වුණු කැබිනට් පත්‍රිකාවට සහ ඊට අනුකූලව සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරීයා ලෙස සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයට අනුව, ඉහළ නංවන ලද DAT දීමනාව වෛද්‍යවරුන්ගේ ජනවාරි මස වැටුපට එකතු විය යුතුව තිබේ.

එසේ වුවද මුදල් අමාත්‍යංශයේ ඇතැම් නිලධාරීන්ගේ මැදිහත්වීමෙන්, ජනවාරි මස වැටුපට මෙම දීමනාව එකතු වීම වැළැක්වීම සඳහා යම් කූඨ උත්සාහයන් දියත්වෙමින් පවතින බව මේ වන විට තහවුරු වී ඇත.

මෙම දීමනාව වෛද්‍යවරුන්ට ගෙවීම සඳහා අවශ්‍ය මුදල් භාණ්ඩාගාරය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව තිබියදීත්, මුදල් අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන්ගේ වාචික නියෝග මත එක්වරම වැටුප් ගෙවීම නැවැත්වීමේ ප්‍රයත්නය පිටුපස ඇති න්‍යාය පත්‍රය රට හමුවේ හෙළිදරව් විය යුතුය.

කැබිනට් මණ්ඩලයේ ඒකමතික අනුමැතිය සහිතව ජනාධිපතිවරයා විසින් ලබා දුන් තීරණයක් ක්‍රියාත්මක කිරීම අවහිර කරමින්, රටේ රාජ්‍ය නායකයාට ද ඉහළින් ක්‍රියාත්මක වන දේශපාලන සහ පරිපාලන අදිසි හස්තයන්හි ක්‍රියාකාරීත්වය මේ වන විට රට ඉදිරියේ දිගහැරෙමින් පවතී.

මෙම ආන්දෝලනාත්මක තීරණ එක්වරම කරලියට පැමිණෙන්නේ ජනාධිපතිවරයා රට තුළ නොමැති අවස්ථාවක වීම ද විශේෂිත කාරණයකි. වෛද්‍යවරුන්ගේ ගැටලු සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක තීරණ ජනාධිපතිවරයා රට තුල නොමැති අවස්ථාවකදි ප්‍රකාශයට පත් වුණු පළමු අවස්ථාව ද මෙය නොවේ.

මෙබඳු ප්‍රයත්නයන් හරහා දැනටමත් අර්බුද ගණනාවකට මුහුණ දී ඇති සෞඛ්‍ය පද්ධතිය තවත් අඩපණ කිරීමේ හා රට තුළ අනවශ්‍ය අර්බුදයක් ඇති කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන්නේද යන කාරණය සම්බන්ධයෙන් බරපතල සැකයක් නිර්මාණය වෙමින් පවතී.

ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට අනුකූලව හෙට දිනය වන විට සියලුම වෛද්‍යවරුන්ගේ ජනවාරි මස වැටුපට වැඩි කරන ලද DAT දීමනාව එකතු විය යුතු අතර, මහා භාණ්ඩාගාරයේ සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් එය එසේ නොවන්නේ නම්, හෙට දින උදෑසන 8.00 සිට ආරම්භ වන පරිදි දීපව්‍යාප්ත වැඩ වර්ජනයකට යොමු වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව ඒකමතිකව තීරණය කරන ලදී.

හෙට දින උදෑසන රැස්වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයන්හි ඉදිරි සැලැස්ම පිළිබඳව සාකච්ඡා කර තීරණ ගැනීමට නියමිතය.

මෙරට සෞඛ්‍ය පද්ධතියේ අර්බුද විසඳා නිවැරදි දිශානතියට ගමන් කිරීමට නම්, මෙවන් පරිපාලන සහ දේශපාලන න්‍යාය පත්‍ර සහිතව කටයුතු කරන නිලධාරීන්ගේ භූමිකාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇතුළු බලධාරීන් වහාම තීන්දු තීරණ ගත යුතු බව දැඩිව අවධාරණය කරමු.