Spread the love

අනුරාධපුර දුම්රිය ස්ථානයේ රථගාලේ තිබූ යතුරුපැදි හිස්වැසුමක් (හෙල්මට්) සොරකම් කළැයි කියන සිද්ධියකට දුම්රිය ආරක්ෂක නියාමකවරුන් ආරම්භ කළ වර්ජනයක් නිසා අනුරාධපුරයේ සිට කන්කසන්තුරේ දක්වා ඊයේ උදෑසන ධාවනය වීමට තිබූ දුම්රිය ගමන්වාරය අවලංගු විණි.

දුම්රිය ආරක්ෂක නියාමකයකු රාජකාරියට වාර්තා කිරීමේදි අනුරාධපුර දුම්රිය ස්ථානයේ රථගාලේ නවතා ගිය යතුරුපැදියේ එල්ලා ගිය යතුරපැදි හිස්වැසුම කිසිවකු හෝ ඊයේ උදෑසන සොරකම් කර තිබිණි.

මෙම සොරකම සිදුවූයේ තම යතුරපැදිය දුම්රිය ස්ථානය තුළ වූ වේදිකාවේ නතර කිරීමට නොදීමෙන් බවත් වේදිකාවේ සිය යතුරුපැදිය නැවතීමට දෙන ලෙසත් දුම්රිය නියාමකවරුන් ඉල්ලා තිබෙන අතර ඊට අනුරාධපුර දුම්රිය ස්ථාන අධිකාරීවරයා අවසර දී නැත.

ඒ දුම්රිය ස්ථානයේ වේදිකාව මගීන්ට සිටීමට ඇති තැනක් වීමත්, මේ තවත් නොබෝ දිනකින් උතුරු දුම්රිය මාර්ගය විවෘත කිරීමට නියමිතව තිබීමත් නිසාය.

දුම්රිය ස්ථානයේ සේවකයන්ට හා නියාමකවරුන්ට සිය යතුරුපැදි දුම්රිය ස්ථානයේ වේදිකාව මත ගාල් කිරීමට අවසර දී තිබුණේ පසුගිය කාලයේ සිදුවූ නවීකරණ නිසාවෙන් යැයි ද දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු සඳහන් කළේය.

කෙසේ වෙතත් සිය යතුරුපැදිවලට ආරක්ෂාවක් නැතැයි කියමින් දුම්රිය නියාමකවරුන් අනුරාධපුරයේ සිට ධාවනය වන කන්කසන්තුරේ දුම්රිය ද ධාවනයෙන් ඉවත්ව වර්ජනයක් ආරම්භ කළ අතර මේ හේතුවෙන් උතුරට ගමන් කිරීමට පැමිණි මගින් රැසක් දැඩි අසීරුවට පත්විය.

මෙම ගැටලුව සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එස් මුදලිගේ ද මැදිහත් වී තිබෙන අතර දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පවසා ඇත්තේ සොරකම් කළ හිස්වැසුමට අදාළ වියදම තම පුද්ගලික මුදලින් ලබා දෙන බවත් එයින් හිස්වැසුමක් මිලදී ගන්නා ලෙසත්ය. එසේම වර්ජනය අත්හරින ලෙසත් ඔහු ඉල්ලා ඇත.

කෙසේ වෙතත් දුම්රිය සාමාන්‍යාධීකාරීවරයාගෙන් මුදල් ලබාගැනීමට අකැමැති වූ දුම්රිය නියාමකවරුන් පසුව වර්ජනය අත්හැර දමා තිබිණි.