Spread the love

මිනිස් ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයින් සොයා දීප ව්‍යාප්ත වශයෙන් වැටලීම් සිදු කිරීමටත්, මිනිස් ජාවාරම් සහ මිනිස් වෙළදාමට සම්බන්ධ පුද්ගලයින්ට තරාතිරම නොබලා දඩුවම් කිරීමටත්, කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා, පොලිස් දෙපාර්තමේන්තුවේ, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් සමග පැවති විශේෂ සාකච්ඡාවකදී තීරණය කර ඇත.

මිනිස් ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව ගන්නා පියවරයන්හි ප්‍රගතිය සම්බන්ධයෙන් සෑම සති දෙකකට වරක්ම නිලධාරි මට්ටමේ ප්‍රගති සමාලෝචනයක් පැවැත්වීමටත් මෙහිදී තීරණය කර තිබේ.

දේශීය හා විදේශීය වශයෙන් මිනිස් ජාවාරම්වලට සම්බන්ධ ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට මේ වන විට ලැබී ඇති තොරතුරු මත වැටලීම් අඛණ්ඩව සිදු කරමින් පවතින අතර මේ අනුව එම වැටලීම් වඩාත් වේගවත් කිරීමටද නියමිතව ඇත.

මේ අතර මිනිස් ජාවාරම් සහ මිනිස් වෙළදාම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටද මෙහිදි වැඩිදුරටත් තීරණය කර තිබේ.

මෙම සාකච්ඡාව සදහා පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ඇතුළු ඉහළ පොලිස් නිලධාරීන්, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඉහළ නිලධාරීන් එක්ව සිටියේය.