Spread the love


නිමල් රාජපක්ෂ-.

තරුණ ප්‍රජාව ගොවිතැනට ආකර්ශණය කර ගැනීම සදහා රුපියල් මිලියන 1000 ක් කෘෂිකර්ම සංවර්ධන දෙපාර්තුමේන්තුවට යොමුකළ මුදලින් වෙන්කර ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

2024 වර්ෂයේ සංවර්ධන කටයුතු සඳහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 3000ක මුදලක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට ලබා දී ඇති අතර එම මුදලින් තරුණ ප්‍රජාව ගොවිතැනට ආකර්ශණය කර ගැනීම සදහා මෙසේ මුදල් වෙන්කර තිබේ.

විශේෂයෙන් තරුණයින් 1000ක් තෝරාගෙන ඔවුන්ට රුපියල් මිලියනය බැගින් ලබා දී අපනයනය ඉළක්ක කර ගත් වගාවන් සඳහා යොමු කිරීමට නියමිතය. විශේෂයෙන් ලබන වසරේ දී ප්‍රධාන බෝග හතරකට ප්‍රමුඛත්වය ලබා දී වගා කෙරෙන අතර ඊට වී, බඩඉරිඟු, මිරිස් සහ අර්තාපල් අයත් වේ.

මෙම තරුණ ප්‍රජාව මෙම බෝග වගා කිරීම සඳහා මෙන්ම දැනට අන්තර්ජාතිකව ඉල්ලුමක් ඇති බෝග වගාව සඳහා ඔවුන් උනන්දු කිරීමටත්, විශේෂයෙන් තරුණ ප්‍රජාවට කෘෂිකර්මාන්තය කෙරෙහි විශ්වසනීයත්වයක් ඇති කිරීම සඳහාත් මෙම පියවර ගත යුතුව ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.