Spread the love

ඩොලරයේ සහ රුපියලේ අගය ඉල්ලුම සහ සැපයුම මත තීරණය වන බවත්, යම් හෙයකින් ඩොලරයේ අගය සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ යන්නේ නම් එය පාලනය කිරීමට තරම් ප්‍රමාණවත් ඩොලර් ප්‍රමාණයක් මහ බැංකුව සතුව පවතින බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි
මෙරට තුළ ක්‍රියාත්මක විදේශ බැංකු කිහිපයක් මූල්‍ය වෙළඳපොලෙන්ද , එසේම ශ්‍රී ලංකා මහ බැංකුව බැංකු පද්ධතියෙන්ද ඩොලර් මිලදී ගැනීම නිසා ඩොලරයේ අගය සීග්‍රයෙන් ඉහළ යමින් තිබෙන බවට පල වන වාර්තා සම්බන්ධයෙන් ඊයේ සවස දෙහිඕවිටදී පැවති වැඩසටහනකින් පසු මාධ්‍යෙව්දීන් විමසා සිටි අවස්ථාවේ අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

මහ බැංකුව මේ වසරේ මුල් මාස 04 තුළ ඩොලර් මිලියන 1620 ක් පමණ මිලදීගෙන ඇති බව සඳහන් කළ සියඹලාපිටිය මහතා මහ බැංකුවට හෝ වෙනත් විදේශීය මූල්‍ය ආයතන වලට මේ මොහොතේදී විශේෂයෙන් ඩොලර් මිලදී ගැනීමට අවශ්‍යතාවයක් නොතිබූ බව අවධාරණය කර සිටියා.
මේ වසරේ මුල් මාස 04 තුලදී රුපියලේ අගය 9 % කට වැඩි ප්‍රමාණයකින් වර්ධනය වූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා , පසුගිය සතියේ එම අගය 1 % – 1.5 % ප්‍රමාණයකින් අඩු වුවද පසුගිය දින දෙක වන විට රුපියලේ අගය යළි වර්ධනය වී ඇති බවද සඳහන් කර සිටියා. එය සමාන්‍ය තත්ත්වයක් බව කියා සිටි අමාත්‍යවරයා මෙය අනපේක්ෂිත තත්ත්වයක් නොවන බැවින් කිසිවෙකුත් මේ සම්බන්ධයෙන් කළබල විය යුතු තත්ත්වයක් නොවන බව පවසා සිටියා.
මහ බැංකුව ඩොලර් මිලදී නොගත්තේ නම් ඩොලරයේ අගය මේ වන විට රුපියල් 250 පමණ දක්වා අඩුවීමට ඉඩ තිබූ බවත් , අපනයන කරුවන් ශක්තිමත් වීම සඳහා මහ බැංකුව ඩොලර් යම් ප්‍රමාණයක් මිලදී ගත් බවත් සඳහන් කළ අමාත්‍යවරයා ඩොලරය ඉහළ යන අවස්ථාවලදී ඩොලර් වෙළඳපලට මුදාහැරීමට මහ බැංකුවට මේ වන විට හැකියාව ඇති බවද පවසා සිටියා. ඒ අනුව මහ බැංකුව විසින් අප්‍රේල් මාසයේදී ඩොලර් මිලියන 50 ක් පමණ විකීණීමට කටයුතු කළ බවද ඔහු ප්‍රකාශ කර සිටියා.
ඒ අනුව ඩොලරයේ අගය අසීමිත ලෙස ඉහළ යනු ඇතැයි හෝ අසීමිත ලෙස පහළ යනු ඇතැයි සිතා කිසිවෙකු තීන්දු ගත යුතු නැතැයි පැවසූ අමාත්‍යවරයා , රුපියලේ සහ ඩොලරයේ අගය යම් කිසි මට්ටමක පවත්වාගෙන යෑමට මහ බැංකුව ශක්තිමත් බවද යළි යළිත් අවධාරණය කර සිටියා.
ඒ අනුව මෙවන් සත්‍යයෙන් තොර තොරතුරු නිසා මුල්‍ය වෙළදපල තුළ කලබල වීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් මේ වන විට මහ බැංකුව සතු විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 5.5 ක් පමණ වන නිසා අවශ්‍ය ඕනෑම අවස්ථාවක ඩොලරයේ අගය පාලනය කිරීමට මහ බැංකුවව හැකි බවද අවධාරණය කර සිටියා.