Spread the love

පලාගිය ඝාතකයන්, ඔවුන් පැමිණි සුදු පැහැති මෝටර් රථය නවගමුව කොරතොට ප්‍රදේශයේ අතහැර දමාගොස් තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇත.

සීසීටීවී කැමරා දර්ශන පරීක්‍ෂා කිරීමේදී හෙළි වූයේ, ඝාතකයන් මෝටර් රථය කොරතොට ප්‍රදේශයේ අතහැර දමා, සුදු පැහැති වෑන් රථයක නැගී පලාගිය බවයි.

අත්අඩංගුවට ගත් මෝටර් රථය පරීක්‍ෂා කිරීමේදී හෙළිවී ඇත්තේ එය ව්‍යාජ අංක යෙදූ මෝටර් රථයක් බවයි.

මේ අතර මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ පොලිසිය ටැටූ ආයතනයේ හිමිකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී හෙළිකර ඇත්තේ ඩුබායි රාජ්‍යයෙන් ලැබුණු කොන්ත්‍රාත්තුවකට අනුව ක්ලබ් වසන්ත තම ආයතනය විවෘත කිරීමේ උත්සවයට කැඳවාගෙන ආ බවයි.

ඒ වෙනුවෙන් ඩුබායි රාජ්‍යයේ සිට ටැටූ ආයතනයේ හිමිකරුගේ බැංකු ගිණුමට රුපියල් දසලක්‍ෂයක් බැරවී තිබූ බව ද විමර්ශනවලින් අනාවරණය වී ඇත.

සන්හිල් හෝටල් සමූහයේ හිමිකරු වූ ක්ලබ් වසන්ත, ව්‍යාපාර රැසක හිමිකරුවෙකි. කාන්තාවන් විදේශ රැකියා සඳහා යැවීම ඇතුළු තවත් ව්‍යාපාර රැසක් මොහු විසින් කරගෙන ගොස් ඇත.

පසුගිය කාලසීමාවේදී ක්ලබ් වසන්තගේ සන්හිල් හෝටල් කීපයක් විකුණා දැමූ අතර, එම හෝටල් අලෙවියෙන් ලැබූ මුදල් ඔහු විසින් ලබාගත් ණය මුදල් ගෙවා දැමීම සඳහා යොදාගත් බව ආරංචි මාර්ග පවසයි.

නුවරඑළියේ, කොළඹ මැරැයින් ඩ්‍රයිව් සහ සීදුව ලියනගේමුල්ල ප්‍රදේශවල සන්හිල් හෝටල් ඉදිකර තිබී ඇත.

කොළඹ රාත්‍රි සමාජශාලා කීපයකම හිමිකරුවකු ලෙස ද මොහු කටයුතු කළ අතර රටේ ප්‍රබල දේශපාලනඥයන්, ජනප්‍රිය ක්‍රීඩකයන්, නළු නිළියන්, ගායක ගායිකාවන්, ධනවතුන්, ප්‍රභූන්, උසස් ආරක්‍ෂක අංශ සාමාජිකයන් ඇතුළු විශාල පිරිසක් සමග සමීපව ඇසුරු කළ ව්‍යාපාරිකයෙක් ද විය.

ක්ලබ් වසන්ත මෙරට ප්‍රධාන පෙළේ පාතාල නායකයන් කීපදෙනෙකු ද ඇසුරු කළ බවට තොරතුරු ඇති බව පොලිසිය පවසයි.

මීට වසර කීපයකට පෙර ඝානයට ලක්වූ මෙරට පාතාලයේ වර්තමාන ගෝඩ් ෆාදර් ලෙස හැඳින්වූ මාකඳුරේ මධුෂ් ක්ලබ් වසන්තගේ සමීප හිතවතකු බව පොලිසිය පවසයි.

මාකඳුරේ මධුෂ් ඩුබායි හිදී අත්අඩංගුවට පත්වූ උපන්දින සාදය සඳහා ක්ලබ් වසන්ත ද සහභාගිවීමට සිටි නමුත්, ගුවන් ගමන් ප්‍රශ්නයක් නිසා ඔහුට ඊට සහභාගිවීමට ඉඩ ලැබී නැත.

මේ අතර කංජිපානි ඉම්රාන් සමග ද ක්ලබ් වසන්ත සම්බන්ධතා පවත්වාගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි.

මෙම ප්‍රහාරයට හේතුව කුමක් දැයි මෙතෙක් අනාවරණය වී නැත. මෙය පාතාල ගැටුමක ප්‍රතිඵලයක් ද එසේත් නැත්නම් පුද්ගලික ආරවුලක් නිසා සිදුවූයේ ද යන්න සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ කේ. සුජීවා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර සෙසු තුවාලකරුවෝ හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.