Spread the love

මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ භෞතික සම්පත් සංවර්ධනයට පියවර ගනිමින් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදීමේ අරමුණ පෙරදැරිව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ සංකේතාත්මකව බාරදීම ඊයේ (26) සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධාත්වයෙන් ජාතික අක්ෂි රෝහලේ ශ්‍රවණාගාරයේ දී සිදු කෙරෙිනි.

මෙම වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ අතර අති නවීන තාක්ෂණයෙන් යුත් Slit Lamps – 05 Nos, Visual Field Analyser, Phaco Machine, Surgeon Stools, Multipara Monitors, Anaesthetic Machine, Specialised Operation Theatre Table සහ රසායනාගාර උපකරණ යටතේ Automated Slide stainer, Cytospin Machine, Tissue Processor යන උපකරණ විය.

මෙහිදී ජාතික අක්ෂි රෝහලේ රෝගී දත්ත පරිගණක ගත කිරීමේ මුලික ක්‍රියාවලිය යටතේ රෝගීන්ගේ දත්ත එක්රැස් කිරීම සදහා වන පොත හදුන්වාදීම සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ රුපියල් මිලියන 6.5 ක මුල්‍ය ප්‍රතිපාදන යටතේ අඩු ආදායම්ලාභී රෝගීන් සදහා ක්‍රියාත්මක කෙරෙන අක්ෂි කණ්ණාඩි ලබාදීමේ ව්‍යාපෘතිය සමාරම්භ කරමින් සංකේතාත්මකව අඩු ආදායම්ලාභී අක්ෂි අබාධවලින් පෙළෙන රෝගීන් 25 දෙනෙකු සදහා ඇස් කණ්ණාඩි ලබාදීම සිදු කරන ලදි.

සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ අක්ෂි රෝහල මගින් ලබාදෙන ප්‍රතිකාර සේවාවන් ගුණාත්මක ලෙස වැඩිදියුණු කිරීමට මෙම රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ ලබාදීම සහාය වනු ඇති බවයි. රෝහලේ අළුත්වැඩියාවන් සදහා මුල්‍ය ප්‍රතිපාදන ලබා දී ඇති බව ද, මහල් 03 කින් සහ ශල්‍යාගාර 06 කින් සමන්විත ශල්‍යාගාර සංකීර්ණය ඉදිරියේ දී ඉතා කෙටි කාලයක් තුල ඉදිකිරිමට හැකියාව ලැබෙනු ඇති බව ද වැඩිදුරටත් පැවසීය. තව ද ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවේ අක්ෂි සේවාව ඇගයීමට ලක්ව ඇති බවද ඒ මහතා පැවසිය.