Spread the love

පොදුජන එක්සත් පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සන්ධානගත වීම නීත්‍යානුකූල නොවන බවත්,යම් හෙයකින් එසේ සන්ධානගත වුවහොත් ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති තිලංග සුමතිපාල මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නීත්‍යානුකූල මහ ලේකම්වරයා වන දයාසිරි ජයසේකර මහතාගේ ලිඛිත අවසරයකින් තොරව පොදුජන එක්සත් පෙරමුණට කිසිදු අයුරකින් වෙනත් පාර්ශ්වයක් සමග සන්ධානගත විය නොහැකි බවද තිලංග සුමතිපාල මහතා පෙන්වා දෙයි.

කොළඹ 10, ආනන්ද රාජකරුණා මාවත යන ස්ථානයේ පිහිටි ”නිදහසේ මාධ්‍ය කේන්ද්‍රයේදී ” විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ මහතා මේ බව කියාසිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රධාන ලේකම්වරයා ” එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක ශ්‍රීමතාණන් විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කරන්නේම එක්සත් ජාතික පක්ෂ විරෝධී වාමාංශික බලවේගයක් විදියටයි. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන ධාරාවට විරුද්ධව තමයි 1994 වසරේදී පොදුජන එක්සත් පෙරමුණ ආරම්භ කරන්නේ.නමුත් අද රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දක්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම විසින් පක්ෂයේ ප්‍රතිපත්තිවලට මුළුමනින්ම විරුද්ධ ආකාරයෙන් කටයුතු කරන රනිල් වික්‍රමසිංහ මහතාට පොදුජන එක්සත් පෙරමුණේ සහයෝගය ලබාදීමට සූදානම් වෙනවා.

ප්‍රගතිශීලී කදවුර පාවාදෙමින් අද රනිල් වික්‍රමසිංහ මහතාගේ කොන්ත්‍රාත්තුවක් තමයි මේ කණ්ඩායම ඉටුකරන්න සූදානම් වෙන්නේ.පොදුජන එක්සත් පෙරමුණේ ප්‍රධාන කොටස්කරුවා වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නීත්‍යානුකූල ලේකම් දයාසිරි ජයසේකර මහතාගේ ලිඛිත අවසරයකින් තොරව පොදුජන එක්සත් පෙරමුණට එවැනි සන්ධානගතවීමකට කිසිසේත්ම යන්න බැහැ.එවැනි සන්ධානගත වීමක් වුණොත් එහි කිසිදු නෛතික භාවයක් නැහැ. මේ නිසා , රනිල් වික්‍රමසිංහ මහතාට පොදුජන එක්සත් පෙරමුණේ පුටුව ලකුණ සමග එකතුවෙලා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට අපි කිසිදු අයුරකින් අවස්ථාව ලබාදෙන්නේ නැහැ.ඊට එරෙහිව අපි උසාවි ගිහින් නඩු පවරනවා.ඒ විතරක් නෙවෙයි ඒ සම්බන්ධයෙන් අපි මැතිවරණ කොමිසමත් දැනුවත් කරනවා.” යනුවෙන්ද ප්‍රකාශ කළේය.

මේ පිළිබඳ විරෝධය දක්වමින් සහ ඊට එරෙහිව ඉදිරියේදී ගනු ලබන නෛතික ක්‍රියාමාර්ග පැහැදිලි කරමින් තමන් පොදුජන එක්සත් පෙරමුණේ ප්‍රධාන ලේකම් ලසන්ත අලගියවන්න මහතා වෙත ලිපියක්ද යොමුකර ඇති බව තිලංග සුමතිපාල මහතා මෙහිදී වැඩිදුරටත් කියාසිටියේය.