Spread the love

ක්‍රිකට් හොරු, බෙහෙත් හොරු, පරිසර හොරු වැනි කම්බ හොරු ඉහ වහා ගොස් තිබෙන වකවානුවක වංචාවට සහ දූෂණයට වැට බැඳීම අත්‍යවශ්‍ය කාරණයක් නමුත් ඒ සඳහා කිසිදු වැඩපිළිවෙලක් වත්මන් රජය ඉදිරිපත් කර නොමැතිවීම කණගාටුවට කාරණයක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

රජයට ආදායමක් සොයාගත හැකි සීනි බදු වංචාව, අරක්කු ස්ටිකර් වංචාව ඇතුළු වංචාවන් පිළිබඳව ජනාධිපතිවරයා වචනයක් හෝ කතා නොකරමින් 2024 අයවැය මගින් සිදුකර තිබෙන්නේ තැලී පොඩිවී සිටින ජනතාවගෙන් තව තවත් පාරිභෝජන බදු අයකරමින් බදු ආදායම වැඩිකර ගැනීමට බවත් එය කොතෙක් දුරට සාර්ථකවේදැයි අවිනිශ්චිත බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

මේ නිසා, මෙරට ආර්ථිකය විනාශ කළායැයි අධිකරණය පවා තීන්දු කර තිබෙන කල්ලියක ග්‍රහණයට හසුවූ රනිල් වික්‍රමසිංහ මහතාගෙන් රට ගොඩනැගීමේ ආර්ථික දැක්මක් බලාපොරොත්තු විය නොහැකි බවත් දේශීය ඉතිරි කිරීම් අඩු ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධනය ගොඩනැගීම සඳහා විදේශීය ආයෝජනය කැඳවාගැනීමට හැකි වංචාව හා දූෂණයට වැට බඳින පරිසරයක් ගොඩනැගීමට ඉදිරි රජයකදී කැපවන බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

ඔහු අවධාරණය කළේ බඩගින්න නැති කරන, පහසුවෙන් රැකියාවක් සොයාගත හැකි ගමට ආර්ථික අවස්ථාවන් උදාවන වඩාත් සාධාරණ ආර්ථික නවෝදයක් ඉදිරියේදී උදාකිරීමට කැපවන බවත් ඒ සඳහා ශ්‍රී ලංකාවේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය ගෝලීය අගය දාමයට සම්බන්ධ කරන බවයි.

නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීමට අවශ්‍ය නිෂ්පාදන සාධක අතුරින් භූමිය, ශ්‍රමය, ව්‍යවසායකත්වය ශ්‍රී ලංකාව තුළ අවශ්‍ය පරිදි තිබෙන බවත් ගැටලුව ඇත්තේ ප්‍රාග්ධනයේ බවත් ඔහු පෙන්වා දුන්නේය.

“ලෝක වෙළෙඳපොළට තරගකාරීව භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරමින් අවශ්‍ය රැකියා නිර්මාණය කිරීමට අපිට මීට වඩා ප්‍රාග්ධනයක් අවශ්‍යයයි. ප්‍රාග්ධනය ගොඩනැගීමට අවශ්‍ය වෙන්නේ ආයෝජනය. ඒ ආයෝජනය ප්‍රමාණවත් විදිහට ලංකාවෙන් හොයාගන්න බෑ. ඒ නිසා, අපි විදේශීය ආයෝජනයට වැඩි අවස්ථාවක් ලබාදී මෙම අභියෝගය ජයගන්නවා.“

විදේශීය අයෝජන තුළින් ප්‍රාග්ධනය ගම් දනව් කරා රැගෙන යන බවත් ඒ තුළින් ඇති නැති පරතරය අඩුවන ලෙස ආර්ථික අවස්ථාවන් පුළුල් කිරීම තම ආර්ථික දැක්ම බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කීය.