Spread the love

එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් සූට් මහගෙන ඉන්න බොහෝ දෙනා කිසිදු ආකාරයක රට ගොඩගන්න වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා නැහැ’ යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා පවසයි.

මහනුරවදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් දැක්වීය.

‘අද වෙනකොට අපිට පේනවා එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් සූට් මහගෙන ඉන්න බොහෝ දෙනා කිසිඳු ආකාරයක රට ගොඩගන්න වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා නැහැ. මේ කට්ටියට සූට් මහගන්න මේ තරම් හදිස්සියක් තිබ්බට රට ගොඩගන්න වැඩපිළිවෙළක් හදන්න කිසිඳු ආකාරයක සූදානමක් ඇත්තේ නැහැ. රට ගොඩනැගීමේ ලිඛිත වැඩපිළිවෙලක් නැතිව දෙන්නං කාසි වලට නැවත ජනාධිපතිවරු පත්කරගත්තොත් හිටපු ජනාධිපතිගේ උදාහරණය තමයි මේ පත්වෙන ජනාධිපතිටත් වෙන්නේ.

ජනාධිපතිවරයා තෝරන්න වජිර අබේවර්ධනලා කියනවා නිර්පාක්ෂික රනිල් වික්‍රමසිංහ දානවා කියලා. එතකොට කුලියාපිටිය රැස්වීමේදී කියනවා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව තීරණය කරා රනිල් වික්‍රමසිංහ එජාප අපෙක්ෂකයා විදියට දානවා කියලා. අනිත් පැත්තෙන් කුට්ටිආරච්චිලා කියනවා එජාප ය තීන්දු කරපු කෙනෙකුට අපි ජනාධිපති අපේක්ෂකකම දෙන්නේ නැහැ. පොදුජන පෙරමුණේ වෙනම අපෙක්ෂකයෙක් ඉන්නවා, අපෙන් අහන්නේ නැතුව කාටවත් එහෙම දෙන්නේ නැහැ කියලා. මේ වෙනකොට ජනාධිපතිවරණ අපෙක්ෂකයෙක් නම් කරගන්න බැරුව ආණ්ඩුව කැඳහැලියක් වෙලා.

අන්තිමේදී රනිල් වික්‍රමසිංහ මහත්තයා තනි අලියෙක් වගේ කැලේ සැරිසරන මට්ටමට පත්වෙනවා. ජනයාගෙන් කොහොමටත් ඔහු ව්‍යත්පන්න වෙලා ඉන්නේ ඒ නිසා කැලේට වනගත වෙලා කැලේම තනි අලියෙකි වගේ සරන්න තමා එතුමාට වෙන්නේ.

එට්කා ගිවිසුම ගැන රට දැනුවත් කරන්නේ නැතුව ඒක මැජික් පොල්ලක් වගේ තියාගෙන මේ අය නටන්න හදන නාඩගම මොකක්ද කියලා අපි දන්නේ නැහැ.

මේ ගිවිසුමෙන් අවසාන වශයෙන් වෙන්නේ අර හරීන් කිව්වා වගේ ඉන්දියාවේ ප්‍රාන්තයක් බවට ලංකාව පත්වෙන එක. ඉන්දියාවට අවශ්‍ය දොලපිදේනි සියල්ලම සකස් කරද්දි මේ රටේ බොහෝ බලවේග ඉන්දියන් සරණං ගච්ඡාමි කියලා තමයි දැන් කියන්නේ.

ඇත්තටම රටේ රාජ්‍ය ව්‍යවසායන් 500 කට අධික ප්‍රමාණයක් මේ රටේ වැදගත් කාර්යභාරයක් සිදු කරනවා. මේ රාජ්‍ය ව්‍යවසායන් වල විගණන වාර්තා පිළිබඳ විද්‍යාත්මක තාක්ෂණික අවබෝධයක් තියෙන කෙනෙකුට තමයි මේ පේලි අතර තියෙන වාර්තාවන් වල තත්වයන් වටහාගන්න සහ විග්‍රහ කරගන්න පුළුවන් වෙන්නේ. මම දන්නෑ ඉතිහාසයේ මේ වගේ කෝප් කමිටු සභාපතිවරයෙක් පත්වෙලා තියෙන්නේ කොයි කාලේකද කියලා. මේ වගේ තාක්ෂණික අවබෝධයක් නොමැති අවම අධ්‍යාපන සුදුසුකමක් නැති පුද්ගලයෙක් මේ වගේ වැදගත්ම පාර්ලිමේන්තු කමිටුවකට පත් කරාට පස්සේ මේ රාජ්‍ය ආයතන අයාලේ යනවා. මේ පාලකයෝ ආයාලේ යන මිනිස්සු තමයි මේ වගේ කමිටු වලට පත් කරන්නේ. මේ වගේ කෙනෙකුට කෝප් කමිටු සභාපතිකම දෙනවට වඩා හොදයි ළඳරු පාසලක ඉන්න ළමයෙකුට දුන්නා නම් ඔය කෝප් කමිටුව මීට වැඩිය හොඳට කරගෙන යයි. අයාලේ යන රට තවදුරටත් අයාලේ යැවීමේ සඳහා තමයි මේ වගේ පත්කිරීම් කරන්නේ. මේ කෝප් කමිටු සභාපතිවරයාට අපි දැඩි විරෝධය පළ කරනවා. මේ කරන්නේ තවදුරටත් පොදුජන පෙරමුණේ හස්තය පාර්ලිමේන්තුවේ තියෙනවා, දෙන දේවල් කාලා වෙන දේවල් බලාගෙන හිටපියව් කියලා තමයි මේකෙන් පොහොට්ටුව ආණ්ඩුවට කියන්නේ.

පැහැදිලි වශයෙන්ම කියනවා මේ වෙනකොට විපක්ෂයේ ප්‍රභලතම බලවේගය සමගිජන බලවේගයයි. ඒ බලවේගයට මේ වෙනකොට භූමියේ දැවැන්ත ජනහඬක් තියෙනවා. ඒ කණ්ඩායම විපක්ෂයට ලැබෙන වාසිය ලබාගනිමින් ඔවුන්ගේ අඩුපාඩු අවම කරගනිමින් කටයුතු කළොත් ඉදිරි මැතිවරණ ජයගන්න ඔවුන්ට වැඩි හැකියාවක් තිබෙනවා.’