Spread the love

ජපාන රජයේ සහය මත ක්‍රියාත්මක කෙරෙමින් තිබු කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අතරමග නවතා දැමීම පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපාන රජය වෙත සිය කණගාටුව පළ කළේය.

විදෙස් රටක හෝ පාර්ශ්වයක මැදිහත්වීම ඇතිව සිදු කරන මහා පරිමාණ ව්‍යාපෘති දෙපාර්ශ්වයේම එකඟතාවක් නොමැතිව නවතා දැමීම හෝ අවලංගු කිරීමට නොහැකි වන අයුරින් ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ නීති සම්පාදනය කරන බව අවධාරණය කළ ජනාධිපතිවරයා සියලු මහා පරිමාණ ව්‍යාපෘතිවලට අදාළ යෝජනා සහ ව්‍යාපෘතියේ වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම අනිවාර්යය කරන බව ද පැවසීය.

ජපානයේ සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජපාන අග්‍රාමාත්‍ය ෆුමිඕ කිෂිඩා මහතා අතර නිල හමුව ඊයේ (25) පෙරවරුවේ ටෝකියෝ නුවරදී සිදු විය.

එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ජපාන අග්‍රාමාත්‍යවරයා විසින් ඉතා සුහදශීලිව පිළිගනු ලැබීය.

නායක දෙපළ අතර සුහද කථා බහකින් අනරතුරුව දෙරට අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි.

ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ජපානය ශ්‍රී ලංකාවට ලබා දෙන සහාය අගය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ පිළිබඳ ජපාන අග්‍රාමාත්‍යවරයා වෙත සිය ස්තූතිය පිරිනැමීය.
එමෙන්ම ජපානය සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව තවදුරටත් ඉහළ නංවා ගැනීමේ නව අවස්ථා පිළිබඳව නායක දෙපළ සාකච්ඡා කළහ.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජපාන මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි මහතා අතර හමුවක් ද අද (25) ටෝකියෝ නුවරදී සිදු වූ අතර ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන පිළිබඳව එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

අනතුරුව ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි මහතා ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා පැවැත්වීය.

ශ්‍රී ලංකාව සහ ජපානය අතර දීර්ඝ කාලීන ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳ එහිදී විශේෂ අවධානය යොමු වූ අතර ආර්ථික, සංස්කෘතික ඇතුළු ක්ෂේත්‍ර රැසක් ඔස්සේ එම සහයෝගීතාව ඉහළ නංවා ගැනීම පිළිබඳව සාකච්ඡා කෙරිණි.