ජනපතිට ජයමපති යාළුවාත් විරුද්ද වේ.. ප්‍රසිද්ද නිවේදනයක්..
19 වන ව්‍යවස්ථා සංශෝධන සංශෝධනයේදී වරදක් සිදුවී ඇති බවටත් ඒ වරද තමන් වෙත පවරමි ජනාධිපතිවරයා විසින් සිදුකරන ලද ප්‍රකාශය ආචාර්ය ජයම්පිති වික්‍රමරත්න මහතා ප්‍රතික්ෂේප කරයි.
මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔහු මෙසේ සඳහන් කර සිටී.
“ව්‍යවස්ථාවේ 83 වන වගන්තිය වෙනස් නොකිරීම මගේ වරදක් බවට ජනාධිපති වික්‍රමසිංහ කළ ප්‍රකාශය
දහනමවන ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කරන අවස්ථාවේ ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ උපරිම ධුර කාලය හය අවුරුද්දේ සිට පස් අවුරුද්ද දක්වා අඩු නොකිරීම මා අතින් පළපුරුද්ද නොමැතිවීම නිසා සිදුවූ වරදක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2024 ජූලි 19 වන දින ගාල්ලේ දී ප්‍රකාශ කර ඇත. මේ පිළිබඳ සත්‍යය කුමක්දැයි පැහැදිලි කිරීමට කැමැත්තෙමි.
ජනාධිපති අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමි ගේ ප්‍රධානත්වයෙන් දේශපාලන පක්ෂ සහ පුරවැසි සංවිධාන 49ක් සමඟ විහාරමහාදේවි උද්‍යානයේ දී අවබෝධතා ගිවිසුමක් අත්සන් කරමින් විධායක ජනාධිපති ධුරය සම්පූර්ණයෙන් අහෝසි කිරීමට පොරොන්දු විය. එහෙත් ඔහු ඊට පසු දිනම ජාතික හෙළ උරුමය සමඟ වෙනම අවබෝධතා ගිවිසුමක් අත්සන් කරමින් ජනමත විචාරණයක් අවශ්‍ය වන කිසිදු ව්‍යවස්ථා සංශෝධනයක් නොගෙන එන බවට පොරොන්දු විය. සිරිසේන මහතාගේ මැතිවරණ ප්‍රකාශයේද ඔහු කියා සිටියේ ජනමත විචාරණයක් අවශ්‍ය වන කිසිදු ව්‍යවස්ථා සංශෝධනයක් නොගෙන එන බවය.
ජනාධිපති සිරිසේන දිව්රුම් දුන් පසු රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත් කරන ලදී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු විෂය අග්‍රාමාත්‍යවරයා යටතේ ගැසට් කෙරින. 19 වන ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය අධීක්ෂණය කිරීමට අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් අනුකමිටුවක් පත් කරන ලදී. මූලික කෙටුම්පත සකස් කරන ලද්දේ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවෙන් විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනෙකු සහ මාත් තව නීතිඥවරයෙකුගෙනුත් සමන්විත කෙටුම්පත් කමිටුවකිනි. මුළු කෙටුම්පත් ක්‍රියාවලියම සිදුකරන ලද්දේ ජනාධිපති සිරිසේනගේ මැතිවරණ ප්‍රකාශයට අනුකූලව 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ජනමතවිචාරණයකට ඉදිරිපත් නොකරන පදනම අනුවය. ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ ධුර කාලය හය අවුරුද්දේ සිට පස් අවුරුද්ද දක්වා අඩු කළ නමුත්, එම ධුර කාල වැඩි කළ හැකි හය අවුරුද්දේ උපරිමය වෙනස් කිරීමට ආණ්ඩුව යෝජනා නොකළේ එවැන්නකට ජනමතවිචාරණයක් අවශ්‍ය බැවිනි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වගන්තිය ප්‍රකාර එහි සඳහන් වගන්ති ගණනාවකට සහ පෙර කී හය අවුරුදු කාලයට පටහැනි ඕනෑම වෙනසකට ජනමතවිචාරණයක් අවශ්‍යය.
තවද, 83 වගන්තිය සංශෝධනය කිරීමටද ජනමතවිචාරණයක් අවශ්‍ය බව මතක තබා ගත යුතුය.
සංශෝධන ක්‍රියාවලියෙදී පිළියෙළ කරන ලද සැම කෙටුම්පතක්ම කැබිනට් අනුකමිටුව සමඟ සාකච්ඡා කරන ලදී. අනුකමිටුව විසින් අනුමත කළ අවසාන කෙටුම්පත් නීති කෙටුම්පත්කරුට යොමු කළ අතර ඔහු එහි වෙනස්කම් කීපයක් කළේය. කෙටුම්පත නීතිපතිගේ සහතිකය සඳහා යොමු කළවිට ජනාධිපතිවරයාගේ සමහර බලතල අඩු කිරීම ඇතුළු ප්‍රතිපාදන කීපයකට ජනමතවිචාරණයක් අවශ්‍ය බව ඔහුගේ මතය විය. එම කාරණය සාකච්ඡා කිරීමට අගමැතිවරයා නීතිපතිවරයාව කීපවරක්ම කැඳවූ අතර එක් සාකච්ඡාවකට මමද සහභාගී වුනෙමි. නීතිපතිවරයාගේ ස්ථාවරය නිසා පනත් කෙටුම්පතට වෙනස්කම් කීපයක් කරන ලදී.
19 වන සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ අගමැති වික්‍රමසිංහ විසිනි.
එය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කළ විට ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටි නීතිපතිවරයා කිසිම ප්රතිපාදනයකට ජනමතවිචාරණයක් අවශ්‍ය නොවන බව කියා සිටියේය. ජනමතවිචාරණයක් අවශ්‍යයයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළ සමහර ප්‍රතිපාදන පාර්ලිමේන්තුවේ දී සංශෝධනය කළ අතර සමහර ඒවා අත්හරින ලදී.
කරුණු මෙසේ තිබිය දී, ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ උපරිම ධුර කාලය හය අවුරුද්දේ සිට පස් අවුරුද්ද දක්වා අඩු නොකිරීම මගේ ප්‍රමාදයක් ලෙස ජනාධිපති වික්‍රමසිංහ හුවා දැක්වීම ගැන මට ඇත්තේ කලකිරීමකි. ජනාධිපති සිරිසේනගේ මැතිවරණ ප්‍රකාශයට අනුකූලව 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ජනමතවිචාරණයකට ඉදිරිපත් නොකරන පදනම යටතේ මුළු සංශෝධන ක්‍රියාවලියම සිදුවූ බව නැවත අවධාරණය කරමි.
ආචාර්ය ජයම්පති වික්‍රමරත්න
ජනාධිපති නීතිඥ