Spread the love

ගාල්ල ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වීම සඳහා මේවන විට සියලු කටයුතු සූදානම් බව ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී ඩබ්ලිව්.ඒ.ධර්මසිරි මහතා පැවසීය.

ඡන්ද විමසීම ලබන සෙනසුරාදා (26) පැවැත්වීමට නියමිතයි.

ඡන්ද පෙට්ටි ඡන්ද පොළ වෙත ප්‍රවාහනය කිරීම අද පෙරවරු 08.00 ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී කාර්යාලයෙන් සිදුකිරීමට නියමිතයි.

ඡන්ද පෙට්ටි සහ අනෙකුත් ලිපි ද්‍රව්‍ය ජේෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන්ට බාරදීම එහිදී සිදු කෙරේ.

මේ අතර හෙට දිනයේ ඇල්පිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පාසල් 23ක් සඳහා නිවාඩු ලබා දෙන බව තේරීම් භාර නිලධාරීවරයා පැවසීය.

ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල් සඳහා එලෙස නිවාඩු ලබාදීම සිදුවන බව පැවසීය.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථාන 48ක් ස්ථාපිත කිරීමට නියමිතයි.

මැතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද දායකයින් 55643ක් ලියාපදිංචි වී සිටියි.

මැතිවරණය පැවැත්වීම තුලින් සභිකයන් 28 දෙනෙකු තෝරා පත්කර ගැනීමට නියමිතයි.

ඒ සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 07කින් සහ ස්වාධීන කණ්ඩායමකින් අපේක්ෂකයන් ඉදිරිපත් වී සිටින බව ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී කාර්යාලය වැඩිදුරටත් පවසයි.