Spread the love

මොල්ලිගොඩ ප්‍රදේශයේ වීදුරු බෝතලයකින් බිරිඳගේ ගෙල කපා බරපතළ තුවාල සිදුකළ පුද්ගලයෙකු පාලනය කිරීමට අද දහවල් වෙඩි තැබුබව වාද්දුව පොලීසිය පවසයි.

වෙඩිතැබීමෙන් තුවාල ලබු පුද්ගලයා ප්‍රතිකාර සඳහා පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇත.

එලෙස වෙඩිවැදී ඇත්තේ වාද්දුව මොල්ලිගොඩ සමාන්තර පාරේ පදිංචිව සිටි පුද්ගලයෙකි.

වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා සිය බිරිඳට හිරිහැර සිදුකරන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් එම නිවසට ගොස් තිබේ.

එහිදී සැකකරු වීදුරු බෝතලයක් කඩා බිරිඳගේ ගෙලට පහරදී ඇති අතර, එම ප්‍රහාරයෙන් ඇය බරපතළ තුවාල ලබා තිබෙන බව සඳහන් ය.

ඔහුව පාලනය කිරීම සඳහා පොලීසිය අහසට වෙඩි තබා ඇති අතර, එහිදී සැකකරු පාලනය කරගැනීමට නොහැකිවී තිබේ.

පසුව පොලීසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ සැකකරු රෝහල්ගත කෙරුණි.

සිද්ධිය සම්බන්ධයෙන් වාද්දුව පොලිසිය වැඩි දුර පරික්ෂණ පවත්වයි.