Spread the love

ග්‍රාම නිලධාරි 3 වන ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වූ විභාගයෙන් සහ සම්මුඛ පරීක්ෂණයේ ප්‍රතිඵල මත ත්‍රෛමාසික පුහුණුව සඳහා සුදුසුකම් ලැබූ අයදුම්කරුවන් 1942 දෙදෙනෙකුගේ නාම ලේඛනය 2024.05. 06 දිනනිකුත් කර ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා කියා සිටියේය.

රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ www.moha.gov.lk නිළ වෙබ් අඩවියේ එම නාම ලේඛනය පළ කර ඇති බවයි.

ග්‍රාම නිලධාරී නව පත්වීම් නාම ලේඛනයේ සිටින සියලුම දෙනාට මැයි මස 08 වන බදාදා උදෑසන 10.30 ට අරලියගහ මන්දිරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙන් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතාගේ සහභාගිත්වයෙන් පත්වීම් ප්‍රධානය කිරීමට නියමිතයි.

විභාග දෙපාර්තමේන්තුව විසින් 2023 වසරේ දෙසැම්බර් 02 දින ග්‍රාම නිලධාරි විභාගය පවත්වන ලදී.

එහි ප්‍රතිඵල අනුව පුරප්පාඩු පවතින ග්‍රාම නිලධාරි තනතුර සඳහා ප්‍රාදේශ ලේකම් කොට්ඨාශ මට්ටමින් වැඩිම ලකුණු ලබා ගත් අයදුම්කරුවන් මෙලෙස ත්‍රෛමාසික පුහුණුව සඳහා තෝරාගනු ලබනු ලැබිණි.

මෙම ත්‍රෛමාසික පුහුණුව සඳහා සුදුසුකම් ලද අයදුම්කරුවන්ගෙන් යම් අයෙකුට මේ වන තෙක් අදාළ කැඳවීම් ලිපිය ලැබී නොමැති නම් මෙම පත්වීම් ප්‍රදානෝත්සවය පිළිබඳව වැඩිදුරු තොරතුරු අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය මගින් ලබා ගත හැකි බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා කියා සිටියේය.