Spread the love


නිමල් රාජපක්ෂ-

ඉන්දියාවේ සිට මෙරටට කොත්තමල්ලි ලෙස ආනයනය කර තිබිය දී රේගු භාරයට ගැණුනු බීඩි කොළ බහාලුම් දෙකක් වැඩබලන මුදල් අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතාගේ නිරීක්ෂණයට ලක් වෙයි.


අමාත්‍යවරයා සඳහන් කළේ ඉන්දියාවේ සිට ආනයනය කෙරුණු මෙම බහාලුම් දෙක තුළ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 11.460ක් තිබූ බවයි. රුපියල් මිලියන 70ක බදු මුදලක් ඒ වෙනුවෙන් අය විය යුතු වුව ද ඒවා කොත්තමල්ලි ලෙස ආනයනය කර තිබීම හේතුවෙන් අය කෙරෙන බදු මුදල රුපියල් ලක්ෂ තුනක් පමණ බවයි අමාත්‍යවරයා පැවසුවේ. රේගු නිලධාරීන්ගේ දක්ෂතාව මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ අවස්ථාවේ සිට ප්‍රකට වෘත්තිකයකු එය නිදහස් කර ගැනීම සඳහා විවිධ බලපෑම් කරන බව අමාත්‍යවරයා වැඩි දුරටත් පැවැසීය. එබැවින් ඒ පිළිබඳ විමර්ශන අල්ලස් කොමිසම වෙත පැවරීමට කටයුතු කරන බව සියඹලාපිටිය මහතා අවධාරණය කළේ ය.

රටේ ආදායම ඉහළ නංවා ගැනීම සඳහා සුවිශේෂී කැපවීමකින් කටයුතු කරන රේගු නිලධාරීන්ගේ ආරක්ෂාව හැකි උපරිම අයුරින් සහතික කිරීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා පැවසුවේ. එසේ ම රේගු දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන වෙන්දේසි සෑම පුද්ගලයකුට ම විවෘත කිරීමට කටයුතු කරන බව පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ ලබන ජනවාරි මාසයේ සිට නිවසේ සිටම අන්තර්ජාලය ඔස්සේ අදාළ වෙන්දේසිවලට සහභාගීවීමේ අවස්ථාව ලබා දීමට හැකි ක්‍රමවේදය සකස් වෙමින් පවතින බවයි.