2012 වසරේදී මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය යටතේ කොළඹ නගරයේ පැල්පත් නිවාස වෙනුවෙට ස්ථිර නිවාස ලබාදීම, ගංවතුර පාලනය වැනි සංවර්ධන කටයුතු රාශියක් සිදුකරනු ලැබුවද අදවනවිට එම කටයුතු අමාත්‍යංශයට හා නාගරික සංවර්ධන අධිකාරියට පාලනය කර ගත නොහැකි තත්වයට පත්ව ඇති බවත් මේ හේතුවෙන් නැවත වතාවක් කොළඹ නගරය ආශ්‍රිතව නාගරික පැල්පත්වාසී ගැටළුවක් ඇතිවීමේ අවධානමක් පවතින බව එක්සත් ජනරජ පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි.
අද කොළඹ කුණු ප්‍රශ්න නෑ. ඉස්සර අවුරුද්දට දෙකට කුණු ගොඩ ගැහිලා මහා විශාල වේදනාවක් විඳින්න වෙලා තියෙනවා. මතක ඇති 2017 සිංහල අවුරුද්ද දවසේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කතාකරලා කිව්වා මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටිලා තියෙනවා ඇමතිතුමා කවුරුවත් නෑ බලන්න, එන්න කියලා. මං එතකොට ගමේ ගිහින් හිටියේ. ඉතින් එවෙලෙම අපි කොළඹ ආවා. මීතොටමුල්ල කුණු කන්දට කලින් බ්ලුමැන්ඩල් කුණු කන්ද . ඊටත් කලින් මට්ටක්කුලියේ කුණු කඳු ගොඩ ගැහුණා. හැමදාම මේ කොළඹ කුණු ටික කොහේ හරි දුප්පත් මිනිස්සු ඉන්න පැත්තකට ගිහිල්ලා අත ඇරලා කන්දක් හදපු එක කරනවා. කොළඹ ලස්සන පාරවල් හදලා, කුණු අතුගාන්නෙත් මැෂින් එකෙන්. ගස් හිටවලා, ලයිට් පත්තු කරලා ලස්සනට තියෙනවා. හැබැයි කුණු කඳු ගොඩ ගැහුනා. මේ කුණු කන්දට යටවෙලා තිස්තුන් දෙනෙක් මියගියා. අනූ අට දෙනෙක්ට නිවාස නැති වුණා. අපි සති දෙකක් ඇතුළත කොලොන්නාවෙන් නිවාස ඒ අයට ලබා දුන්නා. ඒ කන්ද නාය යන එක නවත්තන්න ජපානෙත් ගේන්න හැදුවා. නමුත් අපි ඒ කුණු කන්ද පාලනය කළා. පාලනය කරලා උද්‍යානයක් හදන්න අපි කටයුතු යෙදුවා. අවාසනාවකට අද ඒක කවුරුවත් බලන්නේ නැති තැනක් බවට පත්වෙලා තියෙනවා. කොහොම වුණත් අද කොළඹ කුණු වලින් විදුලිය නිපදවෙනවා. මේ කොළඹ කුණු ප්‍රශ්නයට දවස් දාහතරක් ඇතුළත අපි පාලනය අරගෙන විසඳලා දුන්නා.
කොළඹ තොටළඟ ආදී ප්‍රදේශ වල තිබිච්ච ලොකු ප්‍රශ්නයක් කැළණි ගඟේ වතුර. නාගාලන්දේ අද ගිහින් බලන්න ඇළ මාර්ගය හැදුවා, පොම්පාගාරයක් හැදුවා. ඒ වගේම මැද කොළඹ උසාවිය ළඟ පොම්පාගාරයක් හැදුවා. අපි කොළඹ නගරයට ඒ කැලණි ගඟේ ඇතිවෙච්ච ප්රශ්නය විසඳන්න කටයුතු කළා. හැබැයි කණගාටුයි කියන්න අපි පොම්පාගාර තුනක් හැදුවා. ඒවායේ අද පොම්ප වැඩ කරන්නේ නෑ. ඉතින් වතුර ආවහම පොම්ප වැඩ කරන්නැති උනාම වතුර උතුරා යනවා. අඩුගානේ අපි හදපු ටිකවත් නඩත්තු කරගන්න අද හැකියාවක් ඇතිවෙලා නෑ. ඊළඟට කොළඹ ඇතිවෙන වතුර ටික මුහුදට ගෙනියන්න පද්ධතියක් හැදුවා. ඒවා හදද්දි ගොඩක් දෙනෙක් බය වුණා. උතුරු කොළඹ, මෝදර ගොඩාක් බය වුණා මේ ගෙවල් යටින් උමං හදනවා කියලා. මොකද අර උමා ඔයේ උමං හදලා විශාල විනාශයක් වෙච්ච නිසා. අද ගිහින් බලන්න අපි කොළඹ මහ ඉස්පිරිතාලෙ ගාව ඉඳන් උමගක් ඇති කරා. බොරැල්ලේ එකක් ගියා. ඩී එස් සේනානායක විද්‍යාලය හරහා ඒ කිංස්ලි පාරේ උතුරු කොළඹ එකක් කරා. කිසි ගෙදරකට කිසිම දෙයක් වෙලා නෑ. අපි ඒවා නිසි විදියට කරපු නිසා. හැබැයි මම කියන්නෑ සීයට සීයක් සාර්ථකයි කියලා. ඇයි? ව්‍යාපෘති 17 ක් තිබුණා. ඒ ව්‍යාපෘති 17 න් අපි 6 යි කළේ. ඉතුරු ටික කරන්න බැරි වුණා. අද කාණුවක් සුද්ද කරගන්න බැරි තත්ත්වයට මේ නගර සභාවල් මේ ආණ්ඩු, මේ නාගරික සංවර්ධන ක්ෂේත්රය පත්වෙලා තියෙනවා. හරි කණගාටුයි. මේක වෙනස් කරගත්තේ නැත්නම් මේ ඇතිවුණා වගේම නාගරික පැල්පත්වාසී ප්‍රශ්නයක් ආයි වතාවක් කොළඹ ඇතිවෙන්න පුළුවන්.
මේ නගරයේ ප්‍රශ්න විසඳන්න පුළුවන්. නගරයේ ප්‍රශ්න විසඳන්න නම්, මුලින්ම මේ නගරයේ මිනිස්සුන්ට ආදායමක් තියෙන්න ඕනේ. ත්‍රීවිල් වලින්, වරායෙන් මොනවහරි අරගෙන කරලා විතරක් කොළඹ නගරයේ ජීවත් වෙන්න බෑ. කොළඹ නගරයේ අපේ දරුවන්ට රස්සා ලැබෙන්න ඕනේ. ඒ රස්සා ලැබුණොත් තමයි මේ නිවාස හොඳට පවත්වාගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් මත්කුඩු ජාවාරමෙන්, පේමන්ට් බිස්නස් එකෙන්, කුලීකාරකමට තැන් තැන් වල ලොකු මිනිස්සුන්ගේ ගෙවල් වල වැඩට යාමෙන්, විදේශගතවීමෙන් නෙමෙයි මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. මේ වරායෙන් ප්‍රමාණවත් රස්සා ඇතිවෙලා නෑ. වරාය වැඩකරන වැඩි හරියක් ඒ ඇමතිවරු තමන්ගේ දිස්ත්‍රික්කයෙන් ගෙනත් දාපු මිනිස්සු. තෙල් සංස්ථාවක් තියෙනවා. ඒ තෙල් සංස්ථාවේ වැඩ කරන්නෙත් වැඩිපුර පිට මිනිස්සු. හැබැයි මේ කොළඹ නගරයේ මිනිස්සුන්ට ඒවායින් රැකියා ලැබිලා නෑ. කොළඹට රස්සා ලැබෙන වැඩ පිළිවෙලක් නැතුව මේ වැඩේ කරන්න බෑ. ධනවත් පිරිස් වලට මේක ප්‍රශ්නයක් නෙමෙයි. ඒගොල්ලෝ කොළඹ තියෙන හෝටල් වල සාප්පු සංකීර්ණ වල නේද ඕන තරම් පිරිලා ඉන්නේ. අවුරුදු කාලෙ පිටරට යන්න නිවාඩු කාලෙට ගමන් බිමන් යන්න ඕන තරම් ඉන්නවා. අධිවේගී මාර්ගවල පිරිලා ඉන්නවා වාහන. හැබැයි මතක තියාගන්න, 90% ක් මිනිස්සුන්ට ඒක කරගන්න විදිහක් නෑ. 10% කට කිසිම ප්‍රශ්නයක් නෑ මේ අර්බුදයේ.