Spread the love

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා ලංකා පොදුජන පෙරමුණේ කෙනෙක් දෙන්නෙක් නොව මහා පලුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට සූදානමින් සිටින බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි

අමාත්‍යවරයා මේ අදහස් පළ කරන ලද්දේ වත්මන් රජයේ වැඩපිළිවෙළ සහ ඉදිරි ගමන් මඟ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් මාතර කොටුව ක්‍රිඩාංගණයේ පැවති ජන හමුව අමතමිනි.

එහිදී ඔහු මෙසේද පැවසීය.

පසුගිය වසර දෙක තිස්සේ අභියෝග රැසකට අප මුහුණ දුන්නා. ඒ අවස්ථාවේදී අපි දේශපාලනය කිරීම වෙනුවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමඟ රට ඉදිරියට ගෙන යෑමට එක්වුණා. එදා පැවති ප්‍රශ්න නිසා බොහෝ දෙනෙකු කිව්වේ රට ඉදිරියට ගෙන යාමට නොහැකි බවයි. නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ අභියෝගය බාරගෙන වසර දෙකක් ඇතුළත රට ඉදිරියට ගෙන ආවා.

ඉදිරි මැතිවරණවලදී කතාවට පමණක් සීමා වූ නායකයන් පත් කර නොගත යුතුයි. අපේ අනාගතය ශක්තිමත් කළ හැකි නායකයෙක් අවශ්‍යයි. අප මේ රට ඉදිරියට ගෙනයාමට එතුමාට සහාය නොදුන්නා නම් අද රටේ තත්ත්වය වෙනස් වෙන්න ඉඩ තිබුණා. ඉදිරියේදීත් අප ජනතාවට සහන ලබා දෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. ඊළඟ මැතිවරණයේදී ඔබට ලැබෙන එම ප්‍රතිලාභ අහිමි කර ගන්නවාද? එසේ නොමැතිනම් මේ ආකාරයටම ඉදිරියට යනවාද කියා කල්පනා කළ යුතුයි.

මේ රටට අවශ්‍ය බෙදන හෝ කයිවාරු ගහන නායකයන් නෙවෙයි. මේ රටට අවශ්‍ය ජනතාව වෙනුවෙන් නිවැරදි තීන්දු තීරණ ගත හැකි නායකත්වයක්. එවැනි නායකත්වයක් අද රටට ලැබී තිබෙනවා. ඒ නිසා ජනාධිපතිවරණය ප්‍රකාශ කළාට පස්සෙ එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි පොදු ජන පෙරමුණේ මහා පලුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට සූදානම් බවත් මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.