Spread the love

නාගොඩ සුමන

කැලණිතිස්ස බලාගාරය සති 06 කාලයක් සදහා වසා දමා ඇතිබව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

ගෑස් සහ වාෂ්ප ටර්බයිනයේ නඩත්තු කටයුත්තක් ඊට හේතුවී තිබේ.

ඒ අනුව ඊයේ (17) සිට සති 06ක් එලෙස වසා දැමීම සිදුවිය.

එමගින් ජාතික පද්ධතියට මෙගාවොට් 165 ධාරිතාවක් අහිමි වෙයි.

මේ අතර කාර්මික දෝෂයක් හේතුවෙන් අක්‍රීය කල නොරොච්චෝල ලක්විජය ගල් අඟුරු බලාගාරයේ 02 ජනන යන්ත්‍රය ද යළි ජාතික පද්ධතියට එක් කිරීමට දින 05ක් ගතවනු ඇතිබව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

දෙවන ජනන යන්ත්‍රයේ අධි පීඩන හීටර් පද්ධතියේ ඇතිවූ හදිසි බිද වැටීමක් නිසා ජනන යන්ත්‍රය ක්‍රියා විරහිත කිරීම සිදුවිය.

ඒ හේතුවෙන් ජාතික පද්ධතියට මෙගාවොට් 300ක ධාරිතාවක් අහිමි විය.

නොරොච්චෝල බලාගාරයේ තෙවන ජනන යන්ත්‍රය ද මේවන විට අක්‍රියව පවතියි.

නඩත්තු කටයුත්තක් ඊට හේතුවී තිබේ.

එමගින් ද මෙගාවොට් 300 ධාරිතාවක් ජාතික පද්ධතියට අහිමි වෙයි.

කෙසේ වෙතත් අඛණ්ඩ විදුලි සැපයුමක් සදහා එය බාධාවක් නොවන බව එම මණ්ඩලය සදහන් කරයි.

ජල විදුලි උත්පාදනය උපරිමයෙන් සිදුකරමින් තිබේ.

ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ වල ජල ධාරිතාව 88% ඉක්මවා පවතින බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.