Spread the love

දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (04) දිනයේදී වැඩි අවධානය යොමුකළ යුතු මට්ටම දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය මිනිස් සිරුරට දැනෙන උණුසුම,වැඩි අවධානය යොමු කළයුතු මට්ටමක පැවතිය හැකි බව අපේක්ෂා කරන බව සඳහන් වේ.

එමෙන්ම බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මොනරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලත් උණුසුම් දර්ශකය, මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිය හැකි බව දැනුම් දී තිබේ.

මෙහිදී”වැඩි අවධානය ලෙස නම් කර ඇති ප්‍රදේශවල ජනතාවට විජලනය, ලවණ ඉවත් වීම නිසා ඇති වන මස්පිඩු පෙරළීම (heat cramp) සහ අධික උෂ්ණත්වය නිසා ඇති වන අධික මහන්සිය (heat exhaustion) ඇති විය හැකි බව දන්වා ඇත.

මේ අතර, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී තිබේ.