Spread the love

පොලිසිය තුළ තිබූ පැරණි තත්ත්වය වෙනස් කොට අනාගතයේ පොලිස්පති තනතුර ඇතුළු ඉහළ නිලයන්ට කාන්තාවන් සඳහා අවස්ථාව ලබා දීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සහිත වැඩපිළිවෙළ ආරම්භ කර ඇති බව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පවසයි.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ, 2019, 2020 සහ 2021 වසරවල විගණකාධිපති වාර්තාව සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳ පරීක්ෂාව සඳහා ශ්‍රී ලංකා පොලිසිය රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට පෙරේදා (අප්‍රේල් 26) කැඳවූ අවස්ථාවේදී ය.

ඒ අනුව, අනාගත කාන්තා පොලිස්පතිවරියක බිහිවීමට අවස්ථාව සැලසෙනු ඇති බව පොලිස්පතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකා පොලිසියේ කාන්තා පොලිස් නිලධාරීන්ගේ හිඟය ඇතුළු ගැටලු පිළිබදව ද මෙහිදී අවධානය යොමු වී ඇති අතර කාන්තා පොලිස් කොස්තාපල් නිලධාරිනියන් 2419ක පුරප්පාඩු පවතින බව ත් 2023 වසරේ මෙම සංඛ්‍යාව සම්පූර්ණ කිරීමට යෝජිතව තිබුණ ත් වත්මන් ආර්ථික තත්ත්වය මත එය සිදුකිරීමට නොහැකි වූ බව ත් එහිදී අනාවරණය වී තිබේ.

එහිදී අදහස් දැක්වූ පොලිස්පතිවරයා…

“අපි හීනයක් තියා ගන්න ඕනේ. එකක් තමයි අනාගතයේ යම්කිසි දවසක කාන්තා පොලිස්පතිවරයෙක් පත් වෙන්න ඕනේ. අනිත් එක තමයි රටේ ඉන්න අනෙකුත් අන්‍ය ජතිකයිනුත් පොලිස්පතිවරයෙක් ආයේ පත් වෙන්න ඕනේ කියලා. ඒ ආකාරයට අපි ක්‍රමවේදයක් හදන්න ඕනේ කියලා ඒ අනුව තමයි දැන් මේ ගාණට DIGලා හතර දෙනෙක් ගෙනැල්ල ඒ ගොල්ලෝ ට්‍රේන් කරන් යන්නේ. අනාගතයේදී වාසනාව තිබ්බොත් කවුරුහරි කෙනෙකුට IGP තනතුරට එන්න ඇවිල්ල.”