Spread the love


නිමල් රාජපක්ෂ-

ක්‍රීඩාව ගොඩනැගීමේදී අභියෝග රාශියකට මුහුණ පාන්න සිදු වෙනවා. අපි ක්‍රීඩාව හදමු. මේ වන තෙක් මම කිසිම ක්‍රීඩාවකට බලපෑම් කරලා නැහැ. එහෙම කරන්න බලාපොරොත්තුවක් නැහැ. නිදහසේ ක්‍රීඩාව කරගෙන යන්න මම ඉඩ දීලා තිබෙනවා. යම් අවස්ථාවන්වලදී මේ නිළධාරීන් කළ යුතු සියළු දූෂණ වංචා සිදු කර ජාත්‍යන්තර සංගම් ඉදිරියට ගොස් ‘‘දේශපාලන බලපෑම්’’ කියන වචනය පාවිච්චි කරනවා. එය දේශද්‍රෝහී, රාජද්‍රෝහී ක්‍රියාවක් බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.


අමාත්‍යවරයා මේ බව පැවසූයේ ඉන්දියාවේ පසුගිය දා පැවති විශේෂ අවශ්‍යතා සහිත ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (10) දින ක්‍රීඩා අමාත්‍යාංශයේ දී හමු වූ අවස්ථාවේ දීය.

ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශය කියන්නේ මේ රටේ සෑම පුරවැසියෙකුටම ක්‍රීඩා කිරීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටිමින් මූලික අයිතිවාසිකම් රකින්න බැදී සිටින ආයතනයක්.මෙම මූලික අයිතිවාසිකම ආරක්ෂා කිරීම සඳහා 1973 අංක 25 දරණ ක්‍රීඩා පනතට 2022 දෙසැම්බර් 14 වන දින විශේෂ අවශ්‍යතා සහිත ඔබතුමාලාගේ ඉල්ලීම පරිදි අපි නියෝග නිකුත් කළා. ‘‘ආබාධ සහිත තැනැත්තන් සදහා වන ජාතික ක්‍රීඩා සංගමයක් ක්‍රීඩාවට අදාල විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගෙන් සමන්විත අනුබද්ධ ක්‍රීඩා සමාජ ඇතුලත් කර ගැනීම වගකීමක් වන්නේය’’ යනුවෙන්.
මම බලාපොරොත්තු වෙනවා ඉදිරියේ දී ක්‍රීඩා පනත හරහා ඔබට ඔබේ අයිතීන් ලබා දෙන්න. ඉන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් හෝ පාපන්දු සංගමයෙන් හෝ මොනයම් ක්‍රීඩා සමාජයකින් වුවද බැදී සිටිනවා ඔබ සැමට ඔබ ගොඩනගා ගන්නා ක්‍රීඩා සංගමයට අවශ්‍ය පහසුකම් නීත්‍යානුකූලව ලබා දෙන්න.
විශේෂ අවශ්‍යතා සහිත ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ලෝක කුසළාන තරගාවලිය ශ්‍රී ලංකාව තුළ පැවැත්වීමට කටයුතු කරන්නේනම් එය අපි ලබන ලොකු ජයග්‍රහණයක්. ඒ සදහා අමාත්‍යාංශයේ පූර්ණ සහයෝගය ලබා දීමට පියවර ගන්නා බවද පැවසුවේය.

තරගාවලියේ ජයගහණය වෙනුවෙන් ගෞරවයක් ලෙස ඔබ සංගමය මගින් ඉල්ලුම්කරන ලද රුපියල් ලක්ෂ 30 ක මුදල ජාතික ක්‍රීඩා අරමුදල මගින් ලබා දෙන්න කටයුතු කරනවා. ඔබ සංගමයේ පුහුණුවීම් කටයුතු සදහා ගිවිසුමකට අනුව ක්‍රීඩාංගණයක් පවරා දීමේ හැකියාව තිබෙනවා. එය අදියරෙන් අදියර දියුණු කරගෙන ඉදිරියට යා හැකියි.
රටට අත්කරදුන් ජයග්‍රහණය හා කීර්තිය වෙනුවෙන් මම ඔබ සැමට ගෞරවය හා ප්‍රසංශාව පුදකර සිටිනවා. අභියෝග හා අඩුපාඩු මැද ඔබ මෙම ජයග්‍රහණය කරා ගොස් තිබෙනවා. එය විශිෂ්ඨයි.

මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය සරත් වීරසේකර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ශ්‍රී රංගා, ක්‍රිඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ. මහේසන්, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය, විශේෂ අවශ්‍යතා සහිත ක්‍රිකට් සංගමයේ සභාපති හා පුහුණුකරු නුවන් සොයිසා යන මහත්වරුන් ඇතුලු පිරිසක් සහභාගී විය.
ඉහත ප්‍රවෘත්තිය ඔබ මාධ්‍ය මගින් පළකර පුළුල් ප්‍රචාරයක් ලබාදෙන ලෙස කාරුණික ව ඉල්ලා සිටිමි. ඔබ ලබාදෙන සහයෝගයට බෙහෙවින් කෘතඥ වෙමි.