Spread the love

එළුවන් සඳහා රක්ෂණාවරණයක් ලබා දීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සැළසුම් කර තිබෙන බව එම මණ්ඩලයේ සභාපති ඩබ්. එම්. එම්. බී. වීරසේකර මහතා සඳහන් කරයි .

දැනට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් කෘෂිකාර්මික ක්ෂේත්‍රයට අදාල අංශ ගණනාවක් සඳහා නව රක්ෂණාවරණ ලබා දීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කර ඇතැයි එහි සභාපතිවරයා ඊයේ (30) කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දුන්නේය.

කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් සියලු ආයතනවල නිලධාරින් සමග ඊයේ පස්වරුවේ පැවැති සාකච්ඡාවක දී කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ ඉදිරි කටයුතු සම්බන්ධව අමාත්‍යවරයා කරුණු විමසීය.

එම මණ්ඩලය විසින් මේ වනවිට බෝගවර්ග හයක් සදහා ගොවි ජනතාවට නොමිලයේ රක්ෂණාවරණයක් ලබා දී තිබේ. ඒ අනුව වී, මිරිස්, බඩඉරිඟු, අර්තාපල්, සෝයා බෝංචි, හා ලොකුලූණු සඳහා වගා හානියක දී අක්කරයකට රුපියල් 40,000ක් බැගින් හෙක්ටයාර් එකකට රුපියල් ලක්ෂයක වන්දියක් නොමිලයේ ලබා දෙනු ලබයි. නමුත් මෙම නොමිලයේ ලබා දෙන වන්දි මුදලට අමතරව අක්කරයකට දෙන මුදල තවත් රුපියල් 60,000කින් ඉහළ නැංවීමට සහ හෙක්ටයාර් එකකට රුපියල් ලක්ෂ දෙකහමාරක් දක්වා වන්දි වශයෙන් ලබා ගත හැකි පරිදි නව රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දී තිබේ.
එමෙන්ම පශු සම්පත් පාලනයේ දී රජය විසින් ඉදිරි වසර පහ තුළ එළුවන් 70,000ක් ලබා දීමේ වැඩ පිළිවෙළ යටතේ එළුවන් සඳහා ද රක්ෂණාවරණයක් ලබා දීම සඳහා කටයුතු යොදා ඇත.

සාමාන්‍යයෙන් එළුවෙකුගේ වටිනාකම රුපියල් ලක්ෂයක් පමණ වන අතර වාර්ෂිකව රුපියල් 400ක රක්ෂණ දායකත්වයක් මගින් එළුවන් රක්ෂණය කිරීමට අවස්ථාව සලසා දීමටත්, එළුවන් සොරකම් කිරීමක දී හෝ හදිසි මරණයට පත් වූ විට උපරිම වන්දියක් ලබා දීමත් දීමටත් කටයුතු යොදා තිබේ. මෙම එළුවන් නොමිලයේ ලබා දීමේ වැඩ පිළිවෙළ සඳහා රජය මෙම වසරට රුපියල් මිලියන 150ක මුදලක් ලබා දී ඇත.

මේ අයුරින් තව කෘෂි අංශ ගණනාවක් සඳහා රක්ෂණාවරණ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි ද සභාපතිවරයා පැවසීය.