Spread the love

.
නිමල් රාජපක්ෂ-

එළඹෙන උත්සව සමය සහ පාසල් නිවාඩු කාලය තුළ මගී ජනතාවගේ අවශ්‍යතාවය පරිදි දුම්රිය ධාවනය විධිමත්ව පවත්වාගෙන යාමට විශේෂ වැඩ පිළිවෙලක් සකස් කිරීමට දුම්රිය සාමාන්‍යාධිපතිවරයා ගේ අවධානය යොමු කරන්නැයි දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැදවුම් කරු එස් .පී .විතානගේ මහතා පවසයි.

මේ වන විට දෛනික දුම්රිය ධාවන ගමන්වාර 70 කට ආසන්න ප්‍රමාණයක් අවලංගු කර ඇති අතර, නැවත දැනුම් දෙනතුරු තවත් ගමන් වාර 10 ක් අවලංගු කර ඇත.
උත්සව සමයේ සහ පාසල් නිවාඩු කාලය තුළ පොදු මහජනතාව විනෝද ගමන්, වන්දනා ගමන්, හා විවිධ ගමන් බිමන් යොදාගන්නා බව අමුතුවෙන් කිවයුතු නැත. එමෙන්ම දුම්රිය සේවකයින්ටත් එය පොදු තත්වයක් වන අතර, දුම්රිය ධාවන කාර්ය මණ්ඩල වල රාජකාරියට පැමිණීමද අඩුවිය හැකිය. පාසල් නිවාඩු සමයේ විවිධ ගමන් බිමන්
වල නිරත වීම අන්අයට මෙන්ම දුම්රිය කාර්යමණ්ඩලයට සහ ඔවුන්ගේ දරුවන් ඇතුළු පවුලේ අයටද හිමිවිය යුතුය.

බලපෑමකින් තොරව ඔවුනට එම අවස්ථා ලබාදිය හැක්කේ එළඹෙන උත්සව සමය හා පාසල් නිවාඩු කාලය තුළදුම්රිය ධාවනය විධිමත් කිරීම සඳහා අවශ්‍ය විශේෂ වැඩ පිළිවෙලක් සකස් කළහොත් පමණි. එසේ නොමැතිව කාර්ය මණ්ඩලය අඩුවීම නිසා හෝ වෙනත් යම් හේතුවක් නිසා දුම්රිය ගමන්වාර අවලංගු කළහොත් හෝ ප්‍රමාද කළහොත් දුම්රිය කාර්ය මණ්ඩලයත්, දුම්රිය දෙපාර්තමේන්තුවත් නිරන්තරයෙන්ම මගී ජනතාවගේ පරිභවයට හා දෝෂාරෝපනයට ලක්වීම වැලැක්වීමට නොහැකි වනු ඇත.
අදූරදර්ශී දේශපාලනයේ හා අකාර්යක්‍ෂම කළමනාකරණයේ නරකම තත්වයට පත්කර ඇති දුම්රිය දෙපාර්තමේන්තුව, දුම්රිය ධාවනය විධිමත් පරිදි පත්වාගෙන යාමට නොහැකිවන තරමටම පරිහානියට පත්කර ඇත.
කවුරුන් විසින් මොනවා කළත් නොකළත් අවසානයේ දුම්රිය මගී ජනතාවගේ දෝෂාරෝපනයට ලක්වීමට සිදුව ඇත්තේ දුමරිය සාමාන්‍යාධිකාරීතුමා ඇතුළු දුම්රිය කාර්ය මණ්ඩලයට වන බැවින්, මේ පිළිබඳව අවධානය යොමුකර උත්සව සමයේ හා පාසල් නිවාඩුව පවතින කාලසීමා තුළඅවලංගු කිරීමකින් හා ප්‍රමාද කිරීමකින් තොරව දුම්රිය ධාවනය පවත්වාගෙන යෑමට විශේෂ වැඩ පිළිවෙලක් යොදන මෙන් කාරුණිකව ඉල්ලා බවද විතානගේ මහතා පැවසුවේය.