Spread the love

අභාවප්‍රාප්ත සනත් නිශාන්ත මන්ත්‍රීවරයා මිය යනතුරු හා මියගිය පසුවත් ජනතාවගේ හදවත දිනාගත් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

ඊයේ (22) පාර්ලිමේන්තුවේදී පැවති අභාවප්‍රාප්ත සනත් නිශාන්ත මන්ත්‍රීවරයා වෙනුවෙන් ශෝකය පළ කිරීමේ අවස්ථාවට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ, එසේ හදවත දිනා ගැනීම සිදු කිරීම දේශපාලඥයෙකුට අපහසු දෙයක් බවයි.

සනත් නිශාන්ත මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් සමාජයේ වැරදි මතයක් ඇති කිරීමට ඇතැමෙක් හිතාමතාම කටයුතු කළ බවත්, ඒ සඳහා සමාජ මාධ්‍ය යොදාගෙන විවිධ අපවාද නැගූ බවයි හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ.

සනත් නිශාන්ත මන්ත්‍රීවරයාට චෝදනා කළ බොහෝ පිරිසක් ඔහුගේ ගති ලක්ෂණ සම්බන්ධයෙන් තදින් විවේචනය කළ බවත්, එතුමන් එදා සිදුකළේ පුත්තලමට ගැලපෙන දේශපාලනය බවත්, ඔහුගේ දඩබ්බරකම තුළ සිටි උණුවෙන හදක් තිබූ සනත් නිශාන්ත බොහෝ දෙනෙකුට මඟ හැරුණු බවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළේ.