Spread the love


නිමල් රාජපක්ෂ

එකම පලිබෝධ නාශකය විවිධ නම්වලින් වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධව වහාම නියාමණයක් සිදු කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර්වරයාට උපදෙස් දෙයි.
ඒ අනුව මින් ඉදිරියට පලිබෝධ නාශක මිලදී ගැනීමේදි ගොවිජන සංවර්ධන දෙපාර්තුමේන්තුව මගින් ලබා ගන්නා ලෙසත් එසේ ලබා ගන්නා ගොවීන්ට 18% වට්ටමක් ලබා දීමට පියවර ගන්නා බවත් කෘෂිකර්ම ඇමතිවරයා පවසයි.

ඇමතිවරයා මෙම පියවර ගෙන ඇත්තේ පසුගියදා එකම පලිබෝධ නාශකය විවිධ නම් යොදා ගනිමින් වැඩි මිලකට අලෙවි කිරීම නිසා ගොවීන් මහත් පීඩාවට පත්ව ඇතැයි කල්පිටිය ප්‍රදේශයේ ගොවි සංවිධාන විසින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දී මෙන් අනතුරුවයි.
මෙවර මහ කන්නයේ දී සියලුම ගොවි ජන සේවා මධ්‍යස්ථාන මගින් පලිබෝධ නාශක අලෙවි කිරීමට කටයුතු යොදන්නැයි අමාත්‍යවරයා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.
පසුගියදා නොරොච්චෝලේ හා කල්පිටියේ ගොවි සංවිධානවල නියෝජිතයින් හමු වූ අවස්ථාවේ දී ගොවි ජනතාව අමාත්‍යවරයාට මෙම ගැටළුව ඉදිරිපත් කළේය.

විශේෂයෙන් පළිබෝධ නාශක නම් කිරීමේ දී වල් නාශක හා කෘමිනාශකවල ඇතුලත් වන නාමයෙහි සියයට 75ක් එහි අඩංගු රසායනික නාමය ඇතුළත් වන සේ නාමකරණය කළ යුතුව තිබේ. එහෙත් ඇතැම් ප්‍රදේශවල අලෙවි කරන පළිබෝධනාශකවල අඩංගු වන නාමයන් එසේ නොමැති බවත්, බොහෝ පළිබෝධ නාශක වගාවන්ට යෙදුවද නිසි ප්‍රතිඵල නොලැබෙන බවත් ගොවීහු පැවසූහ.
කෙසේ වුවද මෙවැනි පළිබෝධ නාශක පිළිබඳව තොරතුරු වහාම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම අමාත්‍යාංශය හෝ පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයට ලබා දෙන ලෙසත්, තත්ත්වයෙන් බාල කෘමිනාශක හා වල්නාශක අලෙවි කරන හා බෙදාහරින ආයතන හා පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියත්මක කරන බවත්, එවැනි සමාගම් අසදු ලෝඛන ගත කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.