Spread the love

ඛනිජ නීතිගත සංස්ථාවට පවරාගත් පිළියන්දල බෝකුන්දර විවිධ සේවා සමුපකාර සමිතිය යටතේ පාලනය වූ පිළියන්දල සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලේ මහා පරිමාණ මූල්‍ය අක්‍රමිතා රැසක් සිදු වූ බවට තහවුරු වීමෙන් අනතුරුව හිටපු කළමනාකරු අත්අඩංගුවට ගෙන ඇත.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ දේපළවලට අලාභ සිදුකර, අනර්ථය සිදුකිරීම විවිධ සේවා සමුපකාර සමිතියේ පිළියන්දල ශාඛාවේ සේවකයෙකු වශයෙන් සිට වංචාකිරීම, සාපරාධී විශ්වාසය කඩ කිරීම සාපරාධී සාවද්‍ය පරිහරණය චෝදනා යටතේ පොලීසියට කැඳවා ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සිදුකළ විමර්ශනවලදී සැකකරු ඉකුත් මාසය තුළ පෙට්‍රල් ලීටර් 409ක වංචාවක් සිදුකර ඇති බව අනාවරණය වූයේ යැයි එම නිලධාරියා පැවසීය.

ඉන්ධන හලින් විශාල වංචාවක් සිදුව ඇති බවට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂක දර්ශන රත්නායක මහතා වෙත පැමිණිල්ලක් අනුව විමර්ශන කළමනාකාර මේජර් රංජිත් සමරසිංහ මහතාගේ උපදෙස් මත විශේෂ කණ්ඩායමක් ඉකුත් මස 30 වෙනි දින ඉන්ධන හල වෙත පැමිණ සිදුකළ මූලික පරීක්ෂාවේ දී ඉන්ධන හලෙන් මහා පරිමාණ වංචාවක් සිදුවන බවට අනාවරණය වී තිබුණි.

එහිදී පෙට්‍රල් ඉන්ධන පොම්පයට නීතිවිරෝධී ආකාරයෙන් motherboard සවිකර තිබෙන බවට මූලිකව අනාවරණය වී තිබුණි.

අනතුරුව එය පරීක්ෂා කිරීමේදී ඛනිජ තෙල් සංස්ථාවෙන් සොරා ගෙන ආ එකක් බවට අනාවරණය වූ බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය.

එම motherboard දත්ත පරීක්ෂා කිරීමේදී ඉන්ධන ලීටර් 21ක් ලක්ෂ 65,350 අධික ප්‍රමාණයක් සටහන්ව තිබුණි.

සංස්ථාවේන් නිකුත් කරන motherboardවල විශේෂිත සලකුණක් ඇති බවත් එම සලකුණින් එය හඳුනාගත් බවත් එම නිලධාරියා පැවසීය.

මේ හේතුවෙන් වසර 30කට අධික කාලයක් පිළියන්දල විවිධ සේවා සමුපකාර සමිතිය යටතේ පැවති සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල ඉකුත් 6 වැනි දින සිට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යටතට පවරා ගැණුනි.

අත්අඩංගුවට ගත් සැකකරු කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය‍.