Spread the love

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීමේ වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

ඒ අනුව සිදුකර එවැනි මෙහෙයුමකින් පේදුරුතුඩුවට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේදී අනවසරයෙන් ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් සමඟ ඉන්දීය ධීවරයින් විසිපස් දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.

නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රා දෙක සහ එහි සිටි ඉන්දීය ධීවරයින් විසිපස් දෙනා කන්කසන්තුරය වරාය වෙත රැගෙන එන ලදී.

ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිත බව නාවික හමුදා මාධ්‍ය ඒකකය පවසයි.

මෙම මෙහෙයුමත් සමඟින් නාවික හමුදාව විසින් 2023 වර්ෂයේ මේ දක්වා සිදුකළ මෙහෙයුම් මඟින් මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා 33 ක්‍ සහ ඉන්දීය ධීවරයින් 220 ක් නාවික හමුදා භාරයට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කර තිබේ.