Spread the love

2028 වන විට ශ්‍රී ලංකාවට ණය පියවීමට ක්‍රම සහ විධි සොයා ගැනීමට සිදුවන බැවින් එක්සත් ජනපද අන්‍යෝන්‍ය බදු මගින් නව ආර්ථික අර්බුදයක් නිර්මාණය වී ඇති බවත් එම තත්ත්වයට මුහුණ දීම සඳහා රජය සැලැස්මක් ඉදිරිපත් කළ යුතු බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

විශේෂ ප‍්‍රකාශයක් කරමින් ඒ මහතා මෙම අදහස් පල කලේය.

“ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නව තීරු බදු ක්‍රමය ක්‍රියාත්මක කිරීම මාස තුනකින් කල් දමා තිබෙනවා. ඒ මාස තුන අවසන් වන විට මේ තීරු බද්ද ක්‍රියාත්මක වන්නට නියමිතයි. ට්‍රම්ප් ජනපති එම කාරණය තම මැතිවරණ ප්‍රකාශයේද ප්‍රකාශයට පත් කොට ඇරැඹූ නිසා එය සම්පූර්ණයෙන්ම ඉවත් කරන්නට බැහැ.

ලංකාවට පනවා ඇති තීරු බද්ද අඩු කළ ද 25-30% ක හෝ තීරු බදු ගෙවන්න වෙනවා නම් එය අපට විශාල ප්‍රශ්නයක් වෙනවා. අපගේ ව්‍යාපාර වල ලාභාන්තිකය දෙස බලනවා නම් ඒ තරම් වැඩි තීරු බදු වලින් ලාභ ලබන්නට බැහැ.එය අලාභයක් බවට පත්වෙනවා. තීරු බදු වැඩිවීමත් සමග මිලදී ගන්න පාරිභෝගිකයන්ගේ සංඛ්‍යාව අඩුවෙනවා. ඒ නිසා අපට ප්‍රශ්නය තිබෙනවා. අප ඒ ප්‍රශ්නයට මුහුණ දිය යුතුයි. මේ මාස තුන අවශ්‍ය වී තිබෙන්නේ රටවල් දෙක අතර සාකච්ඡා පැවැත්වීමටත් චීන ප්‍රශ්නයට මුහුණ දෙන්නේ කෙසේද යන්න සලකා බැලීම සඳහාත්ය.