Spread the love

ග්‍රාමීය දුප්පත්කම තුරන් කරනවා වෙනුවට, රාජ්‍ය පාර්ශ්වයේ මන්ත්‍රීවරුන්ගේ අත්සනින් බියර් බලපත්‍ර ලබාදීමේ වැඩසටහනක් රට පුරා ක්‍රියාත්මක බවත්, සංචාරක ප්‍රවර්ධනය යැයි පවසමින් විහාරස්ථාන, පාසල්, සෞඛ්‍ය මධ්‍යස්ථාන අසළ මෙවැනි මත්පැන්හල් විවෘත කිරීමට බලපත්‍ර ලබාදෙන බවත්, මේ වන විට පාසල් පද්ධතිය පවා මත්ද්‍රව්‍ය ජාවාරම විසින් ආක්‍රමණය කර ඇති බවත්, මෙවන් තත්ත්වයක් තුළ සෘජු තීන්දු ගනිමින්, අනාගත පරපුර රැකගත යුතු බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඒ අනුව අනාගත සමගි ජන බලවේග රජයක් තුළ දුම්වැටි, මත්ද්‍රව්‍ය හා මත්පැන් භාවිතය යථාර්ථවාදීව අවම කිරීමේ වැඩසටහනකට තමන් මුලපුරන බවත්, මේ ප්‍රතිපත්තිය ජනප්‍රිය නීන්දු නොවන නිසා ඡන්ද අඩුවනු ඇති බවත්, ඊට තමන් බිය නොවන බවත්, ජනප්‍රිය දේශපාලන සංස්කෘතියට තිත තැබිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී ප්‍රකාශ කළා.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ,ඊයේ (21) බොරැල්ල තරුණ බෞද්ධ සමිති ශ්‍රවණාගාරයේ පැවති 111 වැනි ශ්‍රී ලංකා අමද්‍යප මහ සභා රැස්වීම අමතමින්.

රටේ නීති පද්ධතිය පමණක් නොව, රටේ ක්‍රමවේදයද සක්‍රීයව ක්‍රියාත්මක විය යුතු බවත්, මත්පැන් මත්ද්‍රව්‍ය හා දුම්වැටි නිසා රජයට විශාල ආදායමක් ලැබෙන බව ප්‍රකාශ කළත්, පාර්ලිමේන්තු කමිටුවලින් අනාවරණය වූ ආකාරයට මත්පැන් ව්‍යාපාරිකයින් විසින් රජයට ගෙවිය යුතු බදු මුදල් නිසි ආකා⁣රයෙන් ගෙවා නොමැති බවත්, ආයතන දෙකක් ලක්ෂ 17,000ක මුදලක් බදු ලෙස පැහැර හැර ඇති බවත්, මුදල් අමාත්‍යාංශයේ සහ මහාභාණ්ඩාගාරයේ සුළුතර කොට්ඨාසයක් දුම්කොළ සමාගම් සමඟ ඇති අනිසි සම්බන්ධතා නිසා රාජ්‍යයට අය විය යුතු මුළු බදු ප්‍රමාණය අය කර නොගන්නා බවත් විපක්ෂ නායකවරයා මෙහිදී අනාවරණය කළා.

අමද්‍යප ව්‍යාපාරය මෙවැනි සම්මේලනයකට පමණක් කේන්ද්‍රගත නොවී රටේ සෑම පළාතකම, සෑම දිස්ත්‍රික්කයකම, ගමකම සක්‍රියව ක්‍රියාත්මක විය යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී අවධාරණය කළා.