Spread the love

අස්වැසුම දෙවන අදියර ප්‍රතිලාභීන් 257,170ක් සඳහා ජුලි මාසයට අදාළ ගෙවීම් සදහා රුපියල් මිලියන 1,550ක මුදලක් මේ වනවිට බැංකු වෙත බැර කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

ඒ අනුව ප්‍රතිලාභි ගිණුම්වලට හෙට (08) දිනයේ එම මුදල් බැර වනු ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් පවසුවේය.

අස්වැසුම ප්‍රතිලාභ වැඩසටහන යටතේ පළමු අදියර ලෙස ජුලි මාසයේ දී ප්‍රතිලාභි පවුල් 790,000කට ගෙවීම් සිදුකර තිබුණි.

ඒ අනුව ජුලි මාසය තුළ ප්‍රතිලාභ ලබාදී ඇති සමස්ථ පවුල් සංඛ්‍යාව දස ලක්ෂ 48,170ක් බව ශෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ජුලි මාසයට අදාළ ගෙවීම් මෙලෙස සිදු කිරීමෙන් අනතුරුව අගෝස්තු මාසයට අදාළ ගෙවීම් සියලු ප්‍රතිලාභින් සඳහා එක්වර සිදුකිරීමේ හැකියාව පවතින බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.