Spread the love

පාසල් සිසුවියක් ලෙස ව්‍යාජ ලෙස රංගනයක යෙදෙමින් අසභ්‍ය දර්ශන රූගත කර අන්තර්ජාලයට මුදාහැර විශාල වශයෙන් මුදල් ඉපයීමේ ජාවාරමක නිරතව සිටි උපාධිධාරී යුවළක් කඩුගන්නාව පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 28ක කාන්තාවක් සහ වයස අවුරුදු 29ක පිරිමි පුද්ගලයෙකි.අත්අඩංගුවට ගත් සැකකාරිය රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර සැකකරු පිළිමතලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔවුන් නිත්‍යානුකූලව විවාහය ලියාපදිංචි කර ඇති අතර විවාහ උත්සවය ද එළඹෙන වසරේ සිදුකිරීමට නියමිතව ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබේ..

මුදල් ඉපැයීමේ පරමාර්ථයෙන් තමන් මෙලෙස අසභ්‍ය වීඩියෝ නිෂ්පාදනය කර අන්තර්ජාලයට මුදාහැරීමට කටයුතු කළ බව ඔවුන් පොලීසියට පවසා ඇත.

වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඔවුන් ඉන් මාසයකට රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් උපයා ඇති බවය.

අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔවුන් සන්තකයේ තිබී අසභ්‍ය වීඩියෝ නිෂ්පාදනය සඳහා යොදාගත් උපකරණ සහ පරිගණකයක් ද පොලිස් භාරයට ගෙන ඇත.

එහිදී අදාළ රූගත කිරීම් සඳහා යොදාගත් බව කියන පාසල් නිල ඇඳුම්, ටයි ඇතුළු දේවල් ද පොලීසිය සොයාගෙන ඇත.

කලක් තිස්සේ මෙලෙස මෙම ජාවාරම සිදුකර ඇති සැකකාරිය සහ සැකකරු විසින් සකස් කර ඇති අන්තර්ජාල ගිණුමේ පරිශීලකයින් 4,400ක් පමණ සිටින අතර ඔවුන්ගේ වීඩියෝ නැරඹුම් වාර මිලියන 8.7ක් පමණ ඇති බවද අනාවරණය වී තිබේ.

යුවළක් පිළිමතලාව ප්‍රදේශයේ ලැඟුම්හලක අසභ්‍ය දර්ශන රූගත කරන බවට කඩුගන්නාව පොලිස් ස්ථානයේ වැඩ බලන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද ගුණරත්න මහතාට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබේ.

අත්ඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දැඩි ඇප කොන්දේසි මත මුදාහැර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කඩුගන්නාව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.