Spread the love

වෙසක් උත්සවය නිමිති කොටගෙන කොළඹ, ධර්මායතනාධිපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්ගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක කෙරුණු ත්‍රීරෝද රථ දහසක බෞද්ධ කොඩි සවිකිරීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙක් කොළඹ, බෞද්ධාලෝක මාවතේදී ආරම්භ කෙරිණි.

එහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා –

පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්ගේ මගපෙන්වීමෙන් ධර්මායතන විහාරස්ථානය බෞද්ධ ධජය අද දහස් ගණන් සංචාරය කරන වාහන වලට පරිත්‍යාග කරමින් රට පුරා මෙන්ම කොළඹ නගරය බෞද්ධ කොඩියෙන් ඒකාලෝක කරනවා.

බෞද්ධ ජනතාවගේ කේන්ද්‍රස්ථානය ලෙස සිරිලක අඛණ්ඩව පවත්වාගෙන යන වෙසක් සැමරුම වෙනුවෙන් පරම්පරාවෙන් පරම්පරාවට මහා සඟරුවන ලබාදුන් නායකත්වයට අද දින යළිත් අපේ රජය වෙනුවෙන් බැඳියාව, ගෞරවය, කෘතවේදීත්වය පමණක් නොව ඒ සඳහා කටයුතු කිරීමට තිබෙන වගකීම ප්‍රකාශ කරනවා.

අපේ වීදි දරුවන්. රණවිරුවන් එක්තැන් කිරීමට කටයුතු කළ ධර්මායතන විහාරස්ථානයට එම කටයුතු ඉදිරියට ගෙන යාමට හැකිවන විශේෂ වැඩපිළිවෙළක් හා අවශ්‍ය පහසුකම් රජය විසින් සකසා දී තිබෙනවා. කුඩා දරුවෙක් වුවත් පොඩි වෙසක් කූඩුවක් බුදු තෙමගුල වෙනුවෙන් හදන්නේ කොයිතරම් බොදු බැතියක් හදවතේ තියාගෙනද? ඒ වගේම රට පුරා මුළු ජාතියම අවදිවෙලා බුදුරජාණන් වහන්සේගේ ධර්මය රටට හා ලොවට දායාද කිරීමේ උතුම් අවස්ථාවකට අපි පිවිසෙනවා.

බුදුරජාණන් වහන්සේ ගෙනගිය මැදුම් පිළිවෙත අද ලොවට දායාද කළ හැකි උතුම්ම දායාදය ලෙස වෙසක් පොහොය දිනයේදී, වෙසක් වැඩසටහන්වලදී සිහිපත් කොට ඒ වෙනුවෙන් කැපවෙමු.

එහිදී අනුශාසනා කළ ඇල්ලේ ගුණවංශ හිමි –

මම අවුරුදු විස්සක් විසි පහක් පුරා වෙසක් උත්සවය සාර්ථක කරගැනීමට උත්සාහ කරනවා. වෙසක් කියන්නේ බෞද්ධයින්ගේ ලොකුම උත්සවය. වෙසක් උත්සවයට විරුද්ධව රට ඇතුලේ එදත් අදත් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වුණා. මේවා බොරු වැඩ, මොකටද ඕවා හදන්නේ, ගෙයක් හදලා දුන්නනම් ඉවරයිනෙ, වගේ විවිධ මත ඇතැම් පිරිස් එදා ඉඳලා සමාජය තුළ පතුරවා හරිනවා. රාජ්‍ය නොවන සංවිධාන කියලා පිරිසක් ඉන්නවා. අම්මට තාත්තට වදින්න එපා වගේ දේවල් ප්‍රචාරය කරන පිරිසක් දැන් බිහිවෙලා ඉන්නවා.