Spread the love

අපේ කෙනෙක් දානවා!
‘ඒකනේ, අපේ පාක්ෂිකයෝ දැන් එහෙම බණිද්දී අපට පුළුවන්ද රනිල්ට ඡන්දෙ දෙන්න කියන්න? ඒ හින්දා අපි ඊළඟ ජනාධිපතිවරණයේදී අපේ පාක්ෂිකයෝ අනුමත කරන, අපේ පාක්ෂිකයෝ දන්න, අපේ පක්ෂයේ එක්කෙනෙක්ව ජනාධිපති අපේක්ෂකයා විදියට නම්කරනවා. එතුමට පුළුවන් අපේ පාක්ෂිකයන්ගේ ඡන්ද අරන් දිනන්න…’ යනුවෙන් කියමින් බැසිල් පළමු වතාවට ඊළඟ ජනාධිපතිවරණයේදී පොහොට්ටුව සිදුකිරීමට සූදානමින් සිටින සැලසුම හෙළිදරව් කිරීමට පියවර ගත්තේය. බැසිල්ගේ මේ පිළිතුරෙන් රාජ්‍ය ඇමැතිවරයා ඇතුළු පසුපෙළ මන්ත්‍රීවරුන් එක් කරුණක් මනාව තේරුම් ගත්තේය. ඒ, ඊළඟ ජනාධිපතිවරණයේදී පොහොට්ටුවේ සහාය රනිල්ට හිමි නොවන බවත්, නියත වශයෙන්ම පොහොට්ටුව විසින් ජනප්‍රිය අපේක්ෂකයකු ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවත්ය.

මෙන්න අපේක්ෂකයා!
එසේ නම් බැසිල් මේ ගේන්න යන ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුරුන් විය හැකිද? පසුගිය කාලයේදී බැසිල්ට සමීප හිතවතුන් මාධ්‍ය හමුවලදී නම් කියා සිටියේ පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා අකුරු තුනක අයකු විය හැකි යැයි කියාය. නමුත් අපට ඇති තොරතුරුවලට අනුව නම් බැසිල් විසින් සොයාගෙන ඇති මේ ජනාධිපති අපේක්ෂකයා අකුරු තුනක අයකු නම් නොවේ. ඊට වඩා වැඩි අකුරක් වැඩි එනම්, අකුරු හතරක් ඇති රටම දන්නා ජනප්‍රිය අපේක්ෂකයෙකි. මේ දිනවල බැසිල් සහ එම පුද්ගලයා අතර නිතර සාකච්ඡා පැවැත්වෙමින් ඇති බවත්, පොහොට්ටුව ප්‍රධාන කොටගත් නව සන්ධානයක් යටතේ මෙම අපේක්ෂකයා ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට සැලසුම් කොට ඇති බවත් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. නමුත් ඒ කවුරුන්ද යන්න පිළිබඳ තහවුරු කළ හැකි තොරතුරු අප සතුව ඇතත්, අප එය මේ අවස්ථාවේදී හෙළි නොකරන්නේ එය නිල වශයෙන් පොහොට්ටුවෙන් ඉදිරිපත් විය යුතු නිසාය.